Gadget පිටුව | දිනමිණ

Gadget පිටුව

අතේ ගෙන යා හැකි කුඩා විදුලි බලාගාරය

ලොව බොහෝ රටවල වර්තමානය වන විට බලශක්ති අර්බුදයක් උද්ගතව ඇති අතර, පුනර්ජනනීය බලශක්ති සඳහා වැඩි අවධානයක් යොමු වී ඇත. එයින් සූර්ය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇති අතර, සෝල පැනල් මඟින් මේ වන විටත් විදුලිය නිපදවීම සිදු වෙයි. සෝල පැනල් තාක්ෂණය දියුණු කරමින් අතෙහි ගෙන යා හැකි කුඩා විදුලි බලාගාරයක් බවට Biolite Solarpanel හැඳින්විය හැකිය.

Biolite Solarpanel යනු ඔබට පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යා හැකි සෝල පැනල් උපකරණයකි. ඔබ විනෝද චාරිකාවක යෑමේදී, එසේත් නැතිනම් විදුලිය නැති ප්‍රදේශයක සිටීමේදී Biolite Solarpanel මඟින් ඔබට ස්මාට් දුරකතන ආදි උපාංග ආරෝපණය කර ගැනීමට හැකිය. ඔබ ඇවිද යන විට Biolite Solarpanel පිටෙහි පලඳින බෑගයේ එල්ලාගෙන ගමන් කළ හැකි අතර, එහිදී ආරෝපණය වීමක් ද සිදු වෙයි.

පරිගණක ක්‍රීඩාවේ හැබෑවට ඇවිද යන සපත්තු ඩබල

පරිගණක ක්‍රීඩාවලට වර්තමානයේ බොහෝ දෙනකු ඇබ්බැහි වී ඇති අතර, මානසික රෝග මට්ටමටම එය වර්ධනය වී තිබේ. කුඩා ළමයින්ගේ සිට වැඩිහිටි පරපුර දක්වාම මේ පරිගණක ක්‍රීඩාවලට දැඩි කැමැත්තක් දක්වන අතර, සැබෑ අත්දැකීමක් ගැනීමෙන්ම එම ක්‍රීඩා සිදු කිරීමට හැකි අයුරින් තාක්ෂණය දිනෙන් දින දියුණු මට්ටමට පත්ව තිබේ.

Ekto one යනු පැලඳිය හැකි සපත්තු දෙකක් වන අතර, ඔබ ක්‍රීඩා කරන පරිගණක ක්‍රීඩාවේ සජීවීව ඇවිද යා හැකි සැබෑ අත්දැකීම පහසුවෙන් අත්විඳිය හැකි අතර, වනාන්තරවල, දුෂ්කර මාර්ගවල මෙන්ම ඉහළ ස්ථානවලට නැඟීමේදී ඔබට එය ඒ අයුරින්ම විඳ ගැනීමට හැකිය. ඔබ ක්‍රීඩා කරන පරිගණක ක්‍රීඩාවේ සැබෑ අත්දැකීම ඔබට විඳ ගනිමින් ක්‍රීඩා කිරීමට නිපදවා ඇති මේ Ekto one පලඳනා වෙත දැඩි ඉල්ලුමක් පවතින බව ද සමාගම පවසයි.

විනෝද වෙමින් ව්‍යායාම කිරීම

ව්‍යායාම කිරීම අපගේ ශරීර සෞඛ්‍යයට අතිශයින් වැදගත් වන අතර, ඊට වේලාවක් වෙන් කර ගැනීමට නොහැකි තරමට බොහෝ දෙනකු කාර්යබහුලය. කෙසේ වෙතත් බෝ නොවන රෝගවලට නිසි ව්‍යායාමයක් නැති වීම හේතු වී ඇති අතර, පරිගණක ක්‍රීඩාවල නිරතවන්නන්ට එම ක්‍රියාවන් දෙකට සිදු කිරීමට හැකි අයුරින් Quell නිර්මාණය කර තිබේ.

Quell යනු අත් දෙකෙහි රඳවාගෙන අනෙක් කොටස ඉණෙහි බඳින ලද පටියක තබා ව්‍යායාම සිදු කළ හැකි උපාංගයකි. මෙය ඔබට ස්මාට් රූපවාහිනියක්, පරිගණකයක් ආදිය යොදා ගනිමින් බොක්සින් මෙන්ම විවිධ පරිගණක ක්‍රීඩා ඔබට සජීව අත්දැකීමක් විඳ ගනිමින් කළ හැකිය. මෙහි ඉණට පලඳින කොටසින් ඔබගේ සිරුරේ කැලරි දහනය මෙන්ම සෞඛ්‍ය තත්ත්ව ද ස්මාට් දුරකතනය මඟින් පරීක්ෂා කරගත හැකි අතර, විනෝද වෙමින් ශාරීරික සෞඛ්‍යය ද රැක ගැනීමේ හැකියාව පවතී.

 ගයාන් සංජය

නව අදහස දක්වන්න