අනාගතකාමි ලෝකයේ පාවෙන නගර | දිනමිණ

අනාගතකාමි ලෝකයේ පාවෙන නගර

ලොව පළමු පාවෙන නගරය දකුණු කොරියාවේ බූසාන්හි වෙරළ තීරය මුල් කරගෙන ඉදි කෙරේ. 2025 වසර වන විට එය ඉදි කර අවසන් කිරීමට නියමිතව ඇති බව දකුණු කොරියා බලධාරීහු සඳහන් කරති. ඕෂනික්ස් (OCEANIX) යනුවෙන් නම් කර ඇති මේ ව්‍යාපෘතිය පිළිබඳව පළමුවෙන්ම තතු අනාවරණය වූයේ පසුගිය වසරේදීය. නගරයේ සැලසුම ඇතුළත් සෙසු තොරතුරු අන්තර්ජාතික මාධ්‍ය සේවා මඟින් පසුගියදා ප්‍රචලිත කෙරිණ. පාවෙන නගරය අක්කර 15.5ක් පුරා ව්‍යාප්තව ඇත. අන්තර් සම්බන්ධතාවක් ඇති වේදිකා සහිතව මේ නගරය ඉදි කෙරේ. පුද්ගලයන් 12000කට ආසන්න පිරිසකට නවාතැන් පහසුකම් සැපයිය හැකි අන්දමට එකී නගරය ඉදි කෙරෙන බව ද වාර්තා වේ. නගරයේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැය කෙරෙන බව දකුණු කොරියා බලධාරීහු පවසති. නගරය ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය සැකසීමටත්, නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමටත් සිදුව ඇත්තේ සාගර ජල මට්ටම ඉහළ යෑම කෙරෙහි අවධානය ද යොමු කරමින් බව ඕෂනික්ස් ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරි පිලිප් හොෆ්මන් කියා සිටියි. ඕෂනික්ස් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා භාවිතයට ගෙන ඇත්තේ ලොව අන් කිසිදු තැනෙක නගරයක් ඉදි කිරීම සඳහා භාවිතයට ගෙන ඇති තාක්ෂණය නොවන බව ද සඳහන් වේ. එනිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂඥයෝ විශාල පිරිසක් ඕෂනික්ස් පාවෙන නගරයේ ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය දෙමින් සිටිති.

ග්‍රීෂ්ම කාලයට බුසාන්හි දක්නට ලැබෙන්නේ උණුසුම් සහ මඩ සහිත තත්ත්වයකි. බූසාන් වෙත බලපාන උණුසුම් තත්ත්වය අඩු කර ගත හැකි වන්නේ පාවෙන නගරයේ ගොඩනැඟිලිවල වහලවල සෙවණෙනි. එමඟින් සිසිලනයක් ද ඇති කෙරේ. ගොඩනැඟිලිවල පියැසි සූර්යාලෝකය ග්‍රහණය කිරීමට හැකි වන පරිදි සකස් කෙරේ. එය නගරයට අවශ්‍ය බලශක්ති ඉල්ලුම සපුරා ගැනීමට මාර්ගයකි. සාගර ජල මට්ටම ඉහළ යෑමේ අවදානමට මුහුණ දෙමින් මුහුදුබඩ ප්‍රදේශවල ජීවත් වන 12000ක් තරම් වන පිරිසකට මෙම පාවෙන නගරයේ පදිංචිවීමට පළමුවෙන් අවකාශය සලසාදීම මේ ව්‍යාපෘතියේ අරමුණ බව දකුණු කොරියා බලධාරීහු සඳහන් කරති. පාවෙන නගරය පසු කලෙකදී තවදුරටත් පුළුල් කර 100000ක් පමණ පදිංචි කරවීම ඔවුන්ගේ සැලසුමයි.

ඕෂනික්ස් ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති දකුණු කොරියාවට පමණක් නොව මුළු මහත් ලෝකයටම වැදගත් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එනිසා අනාගතයේදී මෙවැනි පාවන නගර වැඩි වශයෙන් බිහි වන්නට ද ඉඩ තිබේ. එයට හේතුව ලොව සෑම මිනිසුන් පස් දෙනකුගෙන් දෙදෙනකු වෙරළේ කිලෝමීටර 100ක් ඇතුළතින් වූ ප්‍රදේශය තුළ පදිංචිව සිටින බව අනාවරණය වීමයි. ඒ අන්දමට වෙරළට ආසන්නයෙන් ජීවත් වන ජනයා මුහුදු මට්ටම වැඩි වීමෙන් විපතට පත් වීමේ අවදානමට මුහුණ දී සිටිති. එනිසා ලෝ පුරා වෙරළ තීර ආසන්නයේ ජීවත් වන මිලියන සංඛ්‍යාත ජනයාට තම නිවෙස් අත්හැර යෑමට දැන් සිටම බල කෙරෙන බව ද සඳහන් වේ. තම නිවෙස් අත්හැර යන එවැනි පිරිස්වලට නිවාස සැපයීම අනාගත ලෝකය හමුවේ ඇති අභියෝගයකි. සමුද්‍රයේ පා‍ෙවන මෙවැනි නගර ඉදිකිරීම වැදගත් වන්නේ එහෙයිනි.

“... ඕෂනික්ස් මොඩියුලය, තිරසාර සහ ඔරොත්තු දෙන පාවෙන නගර නිර්මාණය සඳහා මූලාකෘතියක් වනු ඇත. මෙම නව ආකාරයේ ජලයෙන් උපදින නාගරිකත්වය පළමුවෙන්ම විද්‍යමාන වන්නේ මෙහිය. ඕෂනික්ස් බූසාන් නගරයේ අද්විතීය ස්වභාවය ව්‍යාප්ත වී යනු ඇත. සංස්කෘතිය, වියළි භූමියේ සිට ජලය දක්වා ව්‍යාප්ත වී ගොස් වර්ධනය වනු නිසැකය. දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අවදානමේ ඉදිරියෙන්ම සිටින වෙරළබඩ වාසය කරන ප්‍රජාවන්ගේ අනාගතයට ඔරොත්තු දෙන අන්දමෙන් ඕෂනික්ස්හි පාවෙන වේදිකාවන් සංවර්ධනය කළ යුතු යැයි අපි විශ්වාස කරනවා. ...” යනුවෙන් මෙම ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ කාර්යය භාරව ඇති බිග් - බ්‍රාර්කේ ඉන්ගෙල්ස් සමාගමේ අධ්‍යක්ෂ බ්‍රාර්කේ ඉන්ගෙල්ස් පවසයි.

දකුණු කොරියාවේ ඉදි වන පාවෙන නගරය විවිධ කොටස්වලට බෙදා වෙන් කර ඇත. ඇතැම් තැනෙක දැකිය හැකි වන්නේ පදිංචිය සඳහා සූදානම් කෙරෙන ගොඩනැඟිලිය. තවත් පෙදෙසක පර්යේෂණ කටයුතු සඳහා ඉදි කෙරෙන ගොඩනැඟිලි දක්නට ලැබෙයි. ඒ කවර ආකාරයේ ගොඩනැඟිල්ලක් වුව මහල් හතකට වඩා අඩුවෙන් සිටින පරිදි ඉදි කෙරේ. නගරය නිර්මාණය කෙරෙන්නේ අඩු ගුරුත්වාකර්ෂණ මධ්‍යස්ථානයක් ඇති වන පරිදි සහ සුළඟට ප්‍රතිවිරෝධී ලෙසය. පාවෙන නගරය දූපත්වලින් සමන්විතය. සෑම දූපතක්ම ඉදි කර තිබෙන්නේ ෂඩාශ්‍රාකාර හැඩයක් සිටින පරිදි බව සඳහන් වේ. හුණුගල් භාවිතයෙන් ඉදි කිරීම් කටයුතු සිදු කර තිබෙන නිසා කොන්ක්‍රීට්වලට වඩා දෙතුන් ගුණයකින් ශක්තිමත්ය.

පාවෙන නගරයේ නගර වැසියන්ට ශාකමය ආහාර පදනම් කරගත් ආහාර චර්යාවකට හුරු වන්නට වනු ඇත. අවකාශය, බලශක්තිය සහ ජලය යන සම්පත් මත ඇති වන පීඩනය එමඟින් අඩු කර ගත හැකි වනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති. බලශක්තිය, ආහාර, අපද්‍රව්‍ය ආදිය කළමනාකරණය සඳහා පද්ධති හයක් ද හරිතාගාර ද මෙම නගරයේ දැකිය හැකිය. සෑම ෂඩාශ්‍රාකාර හැඩයක් සහිත කොටසකටම අවශ්‍ය පහසුකම් එකාකාරව සපයා තිබේ.

පාවෙන නගරයේ ඉදි කිරීම් කටයුතු සඳහා වන ඓතිහාසික ගිවිසුම දකුණු කොරියා ජනරජයේ බූසාන් මෙට්‍රෝපොලිටන් සිටි, එක්සත් ජාතීන්ගේ වාසභූමි පිළිබඳ ආයතනය සහ මෙම නගරයේ ඉදි කිරීම් භාරව ඇති නිව්යෝර්ක් නුවර ස්ථාපිත ඕෂනික්ස් යන ආයතන අතර අත්සන් කෙරිණ. මේ නගරයේ පදිංචියට යන අයට පදිංචිය වෙනුවෙන් ගෙවීමක් කිරීමට සිදු වේ ද එසේ නම් එය කවර තරමේ මිල අය කිරීමක් ද යන්න තවදුරටත් අපැහැදිලි බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න