ශ්‍රවණාබාධිතයන්ට සැනසුම ගෙනෙන නවතම ප්‍රතිකාරයක්! | දිනමිණ

ශ්‍රවණාබාධිතයන්ට සැනසුම ගෙනෙන නවතම ප්‍රතිකාරයක්!

ශ්‍රවණාබාධවලට ලක්ව කන් ඇසීම දුර්වල වූවන්ට එම තත්ත්වය මඟහරවා ගැනීමට ඇති එකම විකල්පය වන්නේ ශ්‍රවණාධාර උපාංගයක් භාවිත කිරීම පමණි. එහෙත් බොහෝ විට එයද එතරම්ම සාර්ථක ප්‍රතිකර්මයක් වන්නේ නැත. මන්ද යත්: ඉන් සිදු කරන්නේ කනට ඇතුළු වන ශබ්ද තරංගයේ තීව්‍රතාව වැඩි කිරීමක් පමණක් බැවිනි. විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර ශ්‍රවණාබාධවලට ලක් වන්නන් එවැනි උපාංග භාවිත කිරීමට මැළිකමක් දක්වන්නේ ඉන් සිය ප්‍රතිරූපයට එල්ල වන බලපෑම ගැන සිතාය. මේ කවර හේතුවක් තිබුණද, ශ්‍රවණාබාධ නිසා පුද්ගලයෙක් සමාජය ඉදිරියේ පත්වන අපහසුතාව දන්නේ එම පුද්ගලයාම පමණි. එවැනි පුද්ගලයන්ට සුභාරංචියක් වන නවතම සොයාගැනීමක් කිරීමට අ‍ෙමරිකාවේ සුප්‍රකට මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයට අනුබද්ධ Frequency Therapeutics නමැති සමාගමේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව සිටිති. කනට එන්නත් කරන විශේෂිත ජෙල් වර්ගයක් මඟින් ශ්‍රවණයට හේතු වන පක්ෂ්මීය සෛල පුනර්වර්ධනය කිරීමක් මෙහිදී සිදු වේ. මේ නිසා තවදුරටත් කන් ඇසීම අඩු වීම යනු සුව කළ නොහැකි රෝග තත්ත්වයක් වන්නේ නැත.

FX-322 ලෙස හැඳින්වෙන මෙම එන්නත මඟින් සිදු වන්නේ කන තුළ නිෂ්ක්‍රීය තත්ත්වයේ පසු වන කලල ප්‍රාථමික සෛල ශබ්ද තරංග මොළය වෙත සම්ප්‍රේෂණය කිරීමට සමත් නව නීරෝගි ශ්‍රවණ සෛල බවට පරිවර්තනය කිරීමකි. සිරුරේ ඕනෑම ස්ථානයක පවතින කලල ප්‍රාථමික සෛල යනු වෙනත් ඕනෑම සෛල හා පටක විශේෂයක් බවට පරිවර්තනය වීමේ හැකියාව සහිත සෛල විශේෂයකි. FX-322 එන්නතෙන් සිදු වන්නේ එලෙස කන තුළ වන ප්‍රාථමික සෛල පක්ෂ්මීය සෛල බවට පරිවර්තනය කිරීමකි. පරිසරයෙන් නික්මෙන ශබ්ද ග්‍රහණය කොටගෙන ඒවා විද්යුත් සංඥා බවට පරිවර්තනය කොට, හඳුනාගැනීම සඳහා මොළය වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ මෙම පක්ෂ්මීය සෛල විසිනි. එක්සත් රාජධානියේ පමණක් සැලකුවද මිලියන එකොළහකට අධික පිරිසක් ශ්‍රවණාබාධවලින් පෙළෙන අතර, මින් මිලියන අටක්ම වයස අවුරුදු හැටට වැඩි අයය. වියපත් ැවීමත් සමඟ කන් ඇසීම අඩු වීමට අමතරව කනේ ඉටි තැන්පත් වීම, හා වෙනත් ආසාදන නිසා කෙටිකාලීන ශ්‍රවණාබාධිත තත්ත්ව හට ගැනීමේ ප්‍රවණතාවක්ද තිබේ. මෙවැනි තත්ත්වවලට ප්‍රතිකාර තිබුණද පක්ෂ්මීය සෛලවලට වන හානි නිසා හටගන්නා ශ්‍රවණාබාධ සුව කිරීමේ ප්‍රතිකාරයක් තවමත් භාවිතයේ නැත. මීට ප්‍රධානම හේතුව මෙම පක්ෂ්මීය සෛලවලට පුනර්වර්ධනය වීමේ හැකියාවක් නොමැති වීමය.

ටිනිටස් නැමැති නිතර කන තුළ විවිධ ශබ්ද ඇසීමේ රෝගය නිසා පුද්ගලයකු ස්ථීර ශ්‍රවණාබාධිත තත්ත්වයට පත් වීමේ අවදානමක් තිබේ. එසේම එලෙස කන් නොඇසී යෑම නිසා ඩිමෙන්ෂියා වැනි රෝග හට ගැනීමේ ප්‍රවණතාව ඉහළ යෑමේ අවදානමක්ද ඇති බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. මීට හේතුව වන්නේ කථනය වටහා ගැනීමට මොළයට වැඩි ආයාසයක් දැරීමටත්, වැඩි ශක්තියක් වැය කිරීමටත් සිදු වීමය. එහෙත් FX-322 නමැති එන්නත මඟින් කිසිදු ශ්‍රවණාධාර මෙවලමකින් තොරව, නැතිව ගිය ශ්‍රවණ හැකියාව පිළිසකර කිරීමට හැකි බවයි එහි නිර්මාතෘවරුන් පෙන්වා දෙන්නේ. ජෙලිමය ස්වභාවයක් ගන්නා මෙම එන්නත වැල්පරික් අම්ලය ඇතුළු පක්ෂ්මිය සෛලවල පුනර්වර්ධනයට හේතු වන ඖෂධ ගණනාවකින් සැදුම් ලද්දකි. මෙහි වැල්පරික් අම්ලය යනු අපස්මාර රෝගයට ප්‍රතිකාර ලෙස භාවිත වන, පහසුවෙන් මිලට ගත හැකි, ඉතා ලාභදායක ඖෂධයක් වීමද විශේෂත්වයකි. ඖෂධ සමූහයේ ක්‍රියාකාරීත්වයෙන් සිදු වන්නේ කනේ පිහිටි ප්‍රාථමික සෛල විශේෂයක් වන progenitor සෛල, ශ්‍රවණයට හේතු වන පක්ෂ්මීය සෛල බවට වර්ධනය වීමට සැලැස්වීමකි. වෙනත් ප්‍රාථමික සෛල මෙන් සිරුරේ ඇති ඕනෑම සෛල විශේෂයක් බවට පරිවර්තනය වීමේ හැකියාවක් නැති progenitor සෛලවලට හැකි වන්නේ එය ආසන්නයේම පිහිටි සෛල විශේෂය බවට පරිවර්තනය වීමට පමණි.

සතුන් සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ FX-322 ජෙලිමය එන්නත මඟින් නීරෝගී ශ්‍රවණ සෛලවල සංඛ්‍යාත්මකව වැඩි කිරීමට හැකි බවය. Otology & Neurotology වෛද්‍ය සගරාවේ ප්‍රකාශයට පත් කොට තිබු අධ්‍යයනයකින් හෙළි කර තිබුණේ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ බරපතළව ශ්‍රවණාබාධිත තත්ත්වයට පත් පුද්ගලයන් සය දෙනකු සම්බන්ධයෙන් කළ පර්යේෂණයකදී මෙම එන්නත් සාර්ථක ප්‍රතිඵල දුන් බවයි. එන්නත ගත් සිව් දෙනකුටම ඉන් අනතුරුව පහසුවෙන් කථන ශබ්ද හඳුනාගැනීමට හැකිව තිබේ. එවන් හැකියාවක් ඔවුන් ශ්‍රවණාබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු තිබී නැත. ශ්‍රවණාබාධිත තත්ත්වයට පත් වූ එකසිය විසි හතර දෙනකු යොදා ගනිමින් වඩාත් පුළුල් අන්දමින් මෙම අධ්‍යයනය සිදු කිරීමට Frequency Therapeuticsහි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

කෙසේ වුවද ලන්ඩනයේ බාට්ස් සෞඛ්‍ය සේවා පදනමේ සේවය කරන උගුර, කන හා නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන මයිකල් වැරින් පවසන්නේ කන් ඇසීම අහිමි වූවන්ට නැවත එම හැකියාව දීමේ පර්යේෂණවල අග්‍රඵලය වන්නේ ශ්‍රවණයට හේතු වන පක්ෂ්මීය සෛල පුනර්වර්ධනය කිරීමේ හැකියාව ලැබීම බවය. එලෙස පුනර්වර්ධනය කරන සෛල ක්‍රියාකාරී තත්ත්වයට පත් කිරීම එහි ඊළඟ අදියර වන අතර, මේ වන විට එකී වැදගත් පියවර දෙකම සාර්ථක කරගැනීමට හැකිවීම වෛද්‍ය විද්‍යාවේ සුවිශාල ජයග්‍රහණයක් බවයි ඔහු අවධාරණය කරන්නේ. තවදුරටත් කන් නොඇසීම මානසික පීඩාවක් බවට පත් නොවන දිනය ඒ අනුව ළඟදීම එළැඹෙනු ඇත.

 

 

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න