නවමු ව්‍යවසායක අදහස් රැසක් බිහි කළ KDU Young Entrepreneurs Exhibition | දිනමිණ

නවමු ව්‍යවසායක අදහස් රැසක් බිහි කළ KDU Young Entrepreneurs Exhibition

රටක් ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යෑමට නම් දේශීය සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය සේම නවමු ව්‍යවසායක අදහස්වලට ද අවස්ථාව දිය යුතුය. ඒ නවමු ව්‍යවසායකයන්ට තමන්ගේ නවමු අදහස් සඵල කර ගැනීමට අවස්ථාවක් රට තුළ ඇති කළ යුතුය. දේශීය වෙළෙඳපොළ පමණක් නොවන විදේශීය වෙළෙඳපොළ පවා ආක්‍රමණය කළ හැකි බොහෝ ව්‍යවසායක අදහස් නැති නම් නව නිර්මාණ විශාල ප්‍රමාණයක් උපන්ගෙයිම මරණයට පත්ව ඇත්තේ ඔවුන්ට ‘අවස්ථාව’ නොදීම නිසාය. නැති නම් නව අදහස් ඇති ව්‍යවසායකයනට හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය නොවීමය. එම නිසා මෙරට තරුණ පිරිසක් අතින් නිර්මාණය වූ බොහෝ නව නිර්මාණ නැති නම් නව ව්‍යවසායක අදහස් බොහොමයක් මළ කා යමින් තිබෙන්නේ රටේ අනාගතයද සමඟිනි.

මෙවන් තත්ත්වයක් මත රට පැවතිය ද මෙරට නව නිර්මාණකරුවෝ සිය නව ව්‍යවසායක අදහස් මරා නොදමමින් අනාගතය යහපත් වේ යැයි සිතමින් තවදුරටත් නව නිර්මාණකරණයේ යෙදෙමින් සිටිති.

දේශීය සම්පත්වලින්, දේශීය ආහාර භෝගයන්ගෙන්, දේශීය දැනුමින් පිරිපුන් නව ව්‍යවසායක අදහස් ගොන්නක් රැගත් ප්‍රදර්ශනයක් පසුගියදා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේදී පැවැත්විණි.

තිරසර සංවර්ධන ඉලක්ක කිහිපයක් මුල් කරගනිමින් නිර්මාණය කෙරුණු මෙම නව නිර්මාණ ප්‍රදර්ශනයේ ඉදිරිපත් කර ඇති නව නිර්මාණ රැසක්ම දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි නව නිර්මාණ වන බව ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි ආචාර්ය කල්පනා අඹේපිටිය මහත්මිය පැවැසුවාය.

“Logistics Management, Management and Technical Sciences and Social Sciences උපාධි අපේක්ෂකයන් තමයි ඔවුන්ගේ තුන් වැනි සෙමස්ටරයට අදාළ විෂයයක් වන ව්‍යවසායකත්ව සංවර්ධනය කියන විෂයට අදාළ ව්‍යපෘතියට ඉදිරිපත් කළ නව ව්‍යාපාර අදහස්වලින් නිර්මාණය කෙරුණු නව නිර්මාණ තමයි මෙම නව නිර්මාණ ප්‍රදර්ශනයට ඉදිර්පත් කර තියෙන්නේ.

“වසරින් වසර මේ ව්‍යවසායකත්ව අදහස්වලට අපි තේමාවක් දුන්නත් මේ පාර අපි තීරණය කළා රටේ පවතින තත්ත්වයත් එක්ක සිසුන් කැමති ඕනෑම ක්ෂේත්‍රයක නව ව්‍යවසායකත්ව අදහස් ඉදිරිපත් කරන්න. නමුත් මේ ව්‍යවසායකත්ව අදහස අතරට තිරසර සංවර්ධන ඉලක්ක එකක් හෝ දෙකක් අනුව ඉදිරිපත් කරන්න කියලා අපි ඔවුන්ට පැවැසුවා. ඒ අනුව මේ නව නිර්මාණ සියල්ලම ඉදිරිපත් කර තියෙන්නේ තිරසර සංවර්ධන ඉලක්ක වන පරිසර ආරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය ආරක්ෂණය ආදී අරමුණු ඉටු කරගත හැකි ආකාරයෙන්.

මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙන නිර්මාණ වර්තමාන දේශීය මෙන්ම විදේශීය ගැටලුවලට ද නව විසඳුම් දිය හැකි නිර්මාණ රැසක්ම තියෙනවා. සිසුන් ඉදිරිපත් කර ඇති නිර්මාණ අතුරින් පේටන්ට් ගත හැකි නිර්මාණ රැසක්ම තියෙනවා. ඒ සඳහා අවශ්‍ය සහාය අපි දෙනවා.”

මුළුමනින්ම දේශීය ආහාර භෝග, ඖෂධ, අමුද්‍රව්‍ය යොදාගෙන ඉදිරිපත් කළ නව නිර්මාණ රැසක්ම මෙම ප්‍රදර්ශනයේ විය. ආහාරපාන, අතුරුපස, ආහාර රසකාරක, දේශීය ඖෂධීය පාන, ඉවතලන ද්‍රව්‍ය යොදා තැනූ විසිතුරු භාණ්ඩ, පොදු ගැටලුවලට තාක්ෂණික විසඳුම් ආදි ප්‍රායෝගිකව භාවිත කළ හැකි නව නිර්මාණ රැසක්ම මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි. විශේෂයෙන්ම ආහාර සහ පාන වර්ග වස විසෙන් සහ රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරව ඉදිරිපත් කර තිබීමත් මෙම ප්‍රදර්ශනයේ දක්නට ලැබූණු සුවිශේෂ ලක්ෂණයකි.

පී.කේ. බණ්ඩාර

නව අදහස දක්වන්න