අරගලය දැන් කොයිබට ද ? | දිනමිණ

අරගලය දැන් කොයිබට ද ?

කොවිඩ්-19 ගෝලීය වසංගතය ලෝක ආර්ථිකය මත ඇති කළ පීඩනය එලෙසම තිබියදී රුසියා - යුක්රේන යුද ගැටුම ද ඇති විය. රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම ද ඒ සමඟ සිදු විය. ඛනිජ තෙල්, ගෑස්, ආහාර ද්‍රව්‍ය යන අනෙකුත් භාණ්ඩ මිල ගණන් පැවැති මට්ටමට වඩා කිහිප ගුණයකින් ඉහළ ගියේ දශක ගණනාවකින් මෙපිටය. ශ්‍රී ලංකාවට ද එම බලපෑම් දැනෙන්නට වූ අතර ජන ජීවිතය දුෂ්කර විය. තෙල් මිල ඉහළ යෑම හා හිඟය, විදුලි කප්පාදුව, ගෑස් හිඟය හා මිල ඉහළ යෑම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද ඇතුළුව භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යෑම, ඇතැම් ඖෂධවල හිඟතාව ආදී වශයෙන් එම බලපෑම් මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මකය. විරෝධතා මඟින් ඒවාට පිළියම් නොලැබෙන නමුදු සාමකාමීව තම විරෝධය පළ කිරීමට ජනතාවට ඇති අයිතිය අතීතයේ කෙසේ වුව ද වත්මන් රජය පවා පිළිගන්නා බව පෙනෙන්නට ඇත. මේ විරෝධතා ක්‍රියාමාර්ගවල සමස්ත මහජනයා නියෝජනය නොවුණ ද මුලදී යම් විශාල ප්‍රමාණයකට විශේෂයෙන් තරුණ පිරිස් ද ඇතුළුව ජනතාව අතරින් පැන නැගි විරෝධයක් ලෙස පෙනෙන්නට තිබිණි. ඉතා ඉක්මනින් ඒ තත්ත්වය වෙනස් වූ අතර එකී විරෝධතා දේශපාලන පක්ෂ හා කණ්ඩායම්, එන්.ජී.ඕ. බෙදුම්වාදීන්, ආගමික කල්ලි ආදී එකී, මෙකී අය විසින් හයිජැක් කළ බව පැහැදිලි විය. ජාතික කොඩියට මුවා වී ඔවුන් ජාතියට එරෙහි න්‍යායපත්‍ර දිග හැරියේ කල දුටු කල වළ ඉහ ගැනීමේ අරමුණිනි. ඒ සමඟා සාමකාමී විරෝධතා තවදුරටත් සාමකාමී නොවූ අතර පැහැදිලිවම ප්‍රචණ්ඩත්වය අතට ගැනීම සිදු විය. ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරය ඉදිරිපිටට පවා ව්‍යාප්ත වූ මේ විරෝධතා ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු ඇති කළා පමණක් නොව සෙසු ජනයා සම්බන්ධයෙන් හිරිහැරකාරී ද විය. ‘සිස්ටම් චේන්ජ්’ ගැන කතා කරමින් ප්‍රචණ්ඩත්වය මුදා හරින අයුරු ගාලුමුවදොර විරෝධයේ පවා වාර්තා විය.

රජය මෙන්ම ආරක්ෂක අංශ තවදුරටත් ‘සාමකාමී’ නොවූ මේ විරෝධතා සම්බන්ධයෙන් පවා බොහෝ ඉවසිලිවන්තව කටයුතු කළ බව පැහැදිලි කාරණයකි. එසේ තිබියදීත් ක්‍රෝධය සහ වෛරය වපුරමින් මෙන්ම පොලිසිය කුපිත කිරීමට ප්‍රයත්න දරමින් විරෝධතාකරුවන් තම අරමුණු සපුරා ගැනීමට කටයුතු කරනු දැකිය හැකි විණි. සමස්තයක් ලෙස සමාජ විනය, නීති ගරුක බව ආදී කාරණා සම්බන්ධයෙන් බරපතළ ගැටලු ඇති කරන තත්ත්වයක් යටතේ එය පාලනය කිරීමට ප්‍රයත්න දරන බවත් නොපෙනිණි. මේ විරෝධතා ක්‍රියාමාර්ග මාර්ග අවහිර කරමින් මෙන්ම සෙසු ජනයා සම්බන්ධයෙන් බාධාකාරී අන්දමින් ඉදිරියට යමින් තිබියදීත් දිස් වූයේ රට තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ වපසරියයි. සමාජජාල පවා අතිශය පිළිකුල් සහගත අන්දමින් වෛර මාවතකට හා ප්‍රචණ්ඩත්වය දෙසට යොමු කරමින් හැසිරවෙමින් තිබියදී වෙනදා මානව හිමිකම් ගැන හඬ නඟන සිවිල් සමාජ ක්‍රියාකාරින් ලෙස හඳුනා ගන්නා අය ද, නොයෙක් සංවිධාන ද ඊට එරෙහි කිසිවක් කළේ නැත. වැරදි පූර්වාදර්ශ බොහොමයක් එකතු කරමින් තිබූ විරෝධතා ව්‍යාපාරයක ඊට එරෙහිව හඬ නැඟීම වෙනුවට හුදු ප්‍රදර්ශනාත්මක සාධනීය ක්‍රියාවකින් ඒවා වසා දැමීමට කටයුතු කිරීම දැකිය හැකි විය. නීති ගරුක වීම වෙනුවට එසේ නොවන්නේ කෙසේ දැයි ප්‍රායෝගිකවම කියා දීමට ඇතැම් මව්පියන් මේ විරෝධතාවලට එක් වූයේ තම කුඩා දරුවන් ද සමඟය. විරෝධතා ක්‍රියාමාර්ගවලට කුඩා දරුවන් ආකර්ෂණය කර ගැනීමේ වෑයමක යෙදෙන විරෝධතාකරුවන්ට ඊට හේතු තිබේ. ඒවා වගකිව යුතු අංශ විසින් විග්‍රහ කළ යුතු හා විමසා බැලිය යුතු කාරණා වන්නේ එය සැලසුම් සහගත ක්‍රියාදාමයක් බව පෙනෙන හෙයිනි. සමාජමය හර පද්ධතීන්ට හා ශිෂ්ටත්වයට පිටින් යන්නට කුඩා කලදීම තම දරුවන් යොමු කරන මව්පියන් ඔවුන්ගේ අනාගත ක්‍රියාකලාප පිළිබඳ පසුතැවිලි නොවන්නන් විය යුතුය.

සරසවි ශිෂ්‍ය විරෝධතා

මේ විරෝධතා සාමකාමී විරෝධතා දැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ගිහි පැවිදි විරෝධතාවලින් වුව ද පැහැදිලි වේ. විරෝධතාකරුවන්ට තමන්ට හිතුනු හිතුණු තැන්වලට කඩා වදින්නට ඉඩ දී නීතිය ක්‍රියාත්මක කරන හා මහජන සාමය හා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අංශ නිශ්ශබ්ද විය යුතු ද? පොලිසිය මනා සංයමයකින් කටයුතු කරද්දිත් අන්තරේ ගිහි පැවිදි දෙපිරිස කොපමණ කුපිතකාරීව හැසිරුණා දැයි පසුගිය දිනවල දැකිය හැකි විණි. සාමකාමීව විරෝධය පෑමක් සිදු කරන අවස්ථාවලදී කදුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල වූයේ නැත. එවැනි බලයක් යෙදීමට ආරක්ෂක අංශවලට සිදු වූයේ විරෝධයේ සීමාව ඉක්මවා යන තැනදීය.

මේ දක්වාම වත්මන් ජනාධිපතිවරයා හා රජය බලයට පත් වූ පසුව කිසිදු සරසවි සිසු හෝ වෙනත් උද්ඝෝෂණයකට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමක් සිදු නොවිණි. ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා බාධාවකින් තොරව ගමන් කිරීමට උද්ඝෝෂකයන්ට ඉඩ ලැබිණි. සාමකාමී විරෝධතා සම්බන්ධයෙන් එම අවකාශය එලෙසම පවතින අතරම පාලනය කළ යුතු තැන අවශ්‍ය පමණට එය පාලනය කිරීමට නීත්‍යනුකූලව ආරක්ෂක අංශවලට ඇති බලය හා වපසරිය නොතකා හැරීමට ද නොහැකිය.

අධ්‍යාපන ක්‍රියාවලිය

සරසවි ශිෂ්‍ය විරෝධතා දකින විට එදා දශක 3කට පෙර 1987-89 අඳුරු භීෂණ සමය සිහිපත් වන්නේ නිතැතිනි. විරෝධතා දක්වනු තබා සරසවි ශිෂ්‍යෙයක් වීමට ජීවිතය රැක ගැනීමට වෑයම් කළ යුතුව තිබූ වකවානුවකි. ටයර් සෑ මත දැවුණු හා ගංගාවල පාවූ තරුණ ජීවිත ගණන් බලා ඇත්තේ දස දහස් සංඛ්‍යාත වශයෙනි. අද විරෝධතා ව්‍යාපාරවල යෙදෙන ශිෂ්‍ය පරම්පරාවට කෙසේ වුවද ඔවුන්ගේ මව්පියන්ට ඒ යුගය අමතක කළ නොහැකිය. ඇතැම්විට ඔවුන් ද එවක සරසවි ශිෂ්‍යයන් ලෙස ඒ අත්දැකීම් ලැබූ අයයි. එදා මෙන් රාජ්‍ය යන්ත්‍රණයෙන් මුදාහැරි භිෂණයක් අද නැතත් එදා තරුණ ජීවිත බිලි දී ශිෂ්‍ය දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගැනීමට වෑයම් කළ බලවේග අදටත් ක්‍රියාකරමින් සිටින්නේ සුපුරුදු ලෙසම බව පෙනෙන්නට තිබේ.

රටේ දැවෙන ප්‍රශ්නවලදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස සංවේදී නොවිය යුතු බවත් මින් අදහස් නොවේ. එසේ වුවද සැබවින්ම සිදුවෙමින් ඇත්තේ එලෙස සංවේදීව ක්‍රියා කිරීමට වඩා කිසියම් දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක අතකොළු බවට පත්වෙමින් ආවේගශීලීව ක්‍රියාකිරීමය. රට තුළ කවර තරමේ අභියෝගාත්මක තත්වයක් පැවැතිය ද හැකි නම් එය ජය ගැනීමට රුකුල් දෙමින් හෝ එසේත් නැති නම් ඊට මැදිහත් නොවෙමින් හෝ තම අධ්‍යාපන ක්‍රියාවලිය පෙරට ගෙන යාම ශිෂ්‍ය ප්‍රජාවගේ වගකීමය, යුතුකමය.

නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද බුක්ති විඳින දරුවන් ලෙස රටේ අනාගතය වෙනුවෙන් ඔවුන් කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ තම අධ්‍යාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් මෙපිට පාසල් පද්ධතිය පවා මෙම විරෝධතා ව්‍යාපාරවලට යොමු කරමින් කොවිඩ් වසංගතය නිසා බොහෝ පසුබට වූ අධ්‍යාපනය තවදුරටත් කඩාකප්පල් කිරීම සඳහා ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද වෘත්තීය සමිති ලෙස හඳුන්වා ගන්නා කණ්ඩායම් ද ක්‍රියාකරමින් සිටී. වැඩ වර්ජනය කළ විට එදින සවසට එය අතිශයින් සාර්ථක වූ බව ඔවුන් මාධ්‍ය ඔස්සේ කියා සිටින්නේ බලවත් සතුටෙනි. ඒ සතුටේ සැඟවුණු අරුත දරුවන්ගේ අධ්‍යාපනය එදින හෝ වර්ජනය කළ දිනවල නොලැබුණු බවය. වෘත්තීය ක්‍රියාමාර්ගවල වගකීම්සහගතව යෙදෙන්නට කවර හෝ වෘත්තියකට අයිතියක් තිබිය හැකි වුව ද මෙවැනි කාලකන්නි සතුටක් ලැබීමට ‘සැබෑ ගුරුවරයා නම්’ උත්තම පුරුෂයාට නොහැකිය.

රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීමේදී කේන්ද්‍රීය භූමිකාවක සිටින මහ බැංකුවේ කාර්ය මණ්ඩලය ද විරෝධතා පෙළපාළිවල යෙදෙනු පසුගිය දිනවල දැකිය හැකි විණි. අර්බුද ජය ගැනීමට විසඳුම් සෙවීම හෝ ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම පසෙක තිබියදී විරෝධතාවල යෙදීමෙන් වත්මන් අර්බුදය තවත් උත්සන්න වීම මිසක විසඳුම් මඟකට යොමු වීම සිදු නොවනු ඇති බව ඔවුන්ට නොවැටහෙන්නට හේතුවක් නැත. එදා මහ බැංකුව මංකොල්ල කන විට අද විරෝධතා දක්වන අය ඒ ගැන හඬ නැඟුවේ ද? විරෝධතා දැක්වී ද? කළු කොඩි එසවී ද?

අභියෝගාත්මක සමය

රටේ සාමය පවත්වා ගැනීම වෙනුවෙන් හා ජන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් ද අත්‍යවශ්‍ය සේවා ආදිය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් ද රාජ්‍ය ආයතන, පරිශ්‍ර ආදියේ ආරක්ෂාව වෙනුවෙන් ද ව්‍යවස්ථානුකූලව හා නෛතිකව අවශ්‍ය පියවර ගැනීමට රාජ්‍ය නායකයා හා රජය ක්‍රියාකරන විට මෙයට ඇතැම් විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිහු ඒ ගැන නිවේදන නිකුත් කරනු ද දැකිය හැකිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා කවුරුන් වුව ද මහජන ඡන්දයෙන් පත්ව එහි රැස්ව සිටින ජනතා නියෝජිතයන් ආරක්ෂා කිරීම ආරක්ෂක අංශවලට පැවරෙන කාර්යයකි. ඔවුන් එය නොපිරිහෙළා ඉටු කළ යුතුය. ඊට අවශ්‍ය නෛතික බලතල ඇති අතර එය ඉක්මවා නොයමින් ක්‍රියා කළ යුතුය. එවැනි ක්‍රියාමාර්ගවලට මැදිහත් වීමට විදේශීය රටකට අයිතියක් ඇත්තේ නැත.

2021 වසරේදී අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ඇති කළ කලබගෑනිය අමෙරිකා ඉතිහාසයේ කළු හෝ අඳුරු දිනයක් ලෙස සටහන්ව ඇත. එහිදී සිදු වූ දේපළ හානිය අමෙරිකන් ඩොලර් මිලියන 1.5 ක් වූ බව ගණනය කර තිබේ. මේ කැරැල්ල පාලනය කිරීමට ආරක්ෂක අංශ බලය යෙද වූ අතර ශ්‍රී ලංකාව හෝ ලොව වෙනත් රටවල එය විවේචනය කරන්නට ගියේ නැත. අමෙරිකාවට හෝ වෙනත් බලවත් රටකට මෙවැනි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට ඇති අයිතිය අන් සෑම රටකටම තිබේ. එසේ වුව ද අප වැනි රටවල් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පවා ප්‍රශ්න කිරීම බලවත් රටවල පිළිවෙතය.

ලෝකයම පසු කරමින් සිටින්නේ අසීරු හා අභියෝගාත්මක සමයකි. රටක් ලෙස අප ද එවැනිම සමයක සිටී. මේ දේශපාලන අවස්ථාවාදයට හෝ පටු දේශපාලන න්‍යායපත්‍රවලට ඉඩ තැබිය යුතු කාලයක් නොවේ. ඒ සියල්ල පසෙක තබා එක්ව නැඟී සිටිය යුතු සමයකි. රාජ්‍ය නායකයාගේ පටන් දැනුම් තේරුම් ඇති කුඩා දරුවා දක්වා අප සැවොම රට ගැන හැඟීමෙන් එක්ව ක්‍රියා කළ යුතු බැඳි සිටිය යුතු සමයකි. එතැනදීත් අප බෙදී වෙන් වී කුළල් කාගන්නේ නම් අර්බුදය තව තවත් ගැඹුරු වනවා මිසක රටට හෝ රටේ ජනතාවට අත් වන යහපතක් නම් නැත. එබැවින් මේ මොහොත ඔබේය; මගේය; අපේය.

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න