පෙන්ගුයින් සහ මරණය | දිනමිණ

පෙන්ගුයින් සහ මරණය

“මාර්තු 04 යූරි ක්‍රාව්චෙන්කෝගේ මළ සිරුර, ඩාචාහිදී හමු විය.

නිල නිවේදනය - දිවිනසා ගැනීමකි.

එහෙත් ඔහු මිය ගොස් තිබුණේ හිසට වැදුණු වෙඩි පහර දෙකකිනි.”

-අන්ද්රේයි කුර්කෝව්ගේ ‘යුක්රේන දිනපොත්’

“2021 දෙසැම්බරය සහ 2022 පෙබරවාරි 24 කාලය තුළ, යුක්රේනයට ඇතුළු වූ බවට වාර්තා වන, එහෙත් යළි පිටව නොගිය ‘අතුරුදන්’ රුසියා ජාතිකයන් එකොළොස්දහසක් ගැන යුක්රේනියානු රාජ්‍ය විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.”

- අන්ද්රේයි කුර්කෝව්ගේ ට්විටර් සටහනකි.

අන්ද්රේයි කුර්කෝව් නමැති සුප්‍රකට යුක්රේනියානු නවකතාකරුවා ද, අද යුද්ධයෙන් අවතැන්ව සිටින්නෙකි. ඔහු සිය ට්විටර් ගිණුම මගින් ලොවට බෙදා හරින, ඉහත සඳහන් ආකාරයේ සටහන් මගින් සැබැවින්ම සිදු වන දෑ වටහා ගැනීමට අපට ඉඟි ලැබෙයි. කුර්කෝව්ම වරක් සඳහන් කළ අන්දමට ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුළ පළවන දහසක් අසත්‍ය පුවත් තුළින් සත්‍ය තෝරා ගැනීමට අපට ඉවක් තිබිය යුතුය.

කුර්කෝව්, තම රටේ මෙන්ම රුසියාවේ ද සමාජ - දේශපාලන තත්ත්වයන් පිළිබඳ විශ්වාස කටයුතු සන්නිවේදකයෙකු වශයෙන් පිටත ලෝකයේ පිළිගැනීමට ලක් වූවෙකි.

2014 දී ඔහු පළ කළ ‘යුක්රේන දිනපොත් - කීව් නගරයේ සිට (Ukraine Diaries Dispatches From Kiev) ඇරැඹෙන්නේ යුක්රේනයේ සිදුවූ ජන අරගලයේ පළමු දිනයේ සිටමය.

ඔහු එකල පදිංචිව සිටි කීව් නගරයේ මහල් නිවාසයත් නිදහස් චතුරස්‍රයත් අතර තිබුණේ යාර 500ක පමණ කෙටි දුරකි. එම උදෑසන තම දරුවන් පාසලට හැරලන කුර්කෝව්, ආපසු පැමිණ නිදහස් චතුරස්‍රය වෙත ගමන් කරයි. තැන තැන කූඩාරම්ය. ඉන් නැගෙන දුමින් අවට වායුව බර වී ඇත. ඔහු වෙහෙසපත් පෙනුමින් සිටි කැරලිකරුවන් සමඟ කතා කරයි.

මේ කාලයේ රුසියාව, අසල්වැසි ක්‍රිමියාව අත්පත් කර ගෙන තිබුණි. නැගෙනහිර යුක්රේනයේ බෙදුම්වාදී සටන් ඇවිළ තිබූ අතර, ජනාධිපති වික්ටර් යැහුකෝව්ච්ට එරෙහිව දෝෂාභියෝගයක් ද ඉදිරිපත්ව තිබුණි. යුරෝපා සංගමයට එක්වීමට පක්ෂව යුක්රේන සිවිල් සංවිධාන ආරම්භ කළ දැවැන්ත උද්ඝෝෂණ හමුවේ, ජනාධිපති යැනුකොව්ච්ට රුසියාවට පලා යෑමට සිදු විය.

කුර්කොව් තම මහල් නිවාසයේ සිට දිනපොත ලියන අවස්ථාවලත්, නිදහස් චතුරස්‍රය දෙසින් වෙඩි හඬ, ග්‍රෙනේඩ් පුපුරන හඬ ඇසෙයි. රුසියානු හමුදා කීව් නගරයට පිවිසෙමින් සිටිති. අද දවසේ ‘යුක්රේන දිනපොත්’ කියවන්නකුට ‘ඉතිහාසය නැවත නැවත සිදු වන්නකි’ යන කියුම කෙතරම් සැබෑවක්දැයි සිතෙයි.

1961 දී රුසියාවේ උපත ලබන අන්ද්රේයි කුර්කෝව්ගේ පියා ගුවන් නියමුවෙකි. මව වෛද්‍යවරියකි. පියාට යුක්රේනයේ (එවකට සෝවියට් සංගමයට අයත්) කීව් නගරයේ සේවයට යාමට සිදුවිය. කුර්කෝව්ට ද වයස හතේදීම රුසියාවෙන් සමු ගැනීමට සිදු වූයේ එහෙයිනි.

ඔහු මුල්ම කවිය ලියන්නේ, සුරතලයට ඇති කළ, යුරෝපියානු මීයන් දෙදෙනකු (Hamsters) මිය යෑමෙන් ඇති වූ ශෝකය නිසාය. එකල පාසල් ළමුන්ට ලැබුණු අධ්‍යාපනය අනුව, ජාතික වීරයෙකු වූ ලෙනින් පිළිබඳව ද ඔහු කවියක් ලියුවේය. එහෙත්, ලෙනින්ගේ ප්‍රතිරූපය සෝවියට් සංගමයේ රටවල තරුණ ජනතාව අතරින් ගිලිහී යන ආකාරය ද ඔහුට අත්විඳින්නට ලැබුණේය.

1983 දී කීව් විදේශ භාෂා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ කුර්කෝව් ජපන් භාෂා පරිවර්තකයකු ලෙස හමුදා සේවයට බැඳුණේය. පසුව ඔඩෙස්සාහි බන්ධනාගාර නිලධාරියකු ලෙස ද කටයුතු කරන කුර්කෝව්, එකල ළමා කතා රචනය අරඹයි.

ඔහුගේ ප්‍රථම නවකතාව ප්‍රකාශයට පත්වන්නේ, සෝවියට් සංගමය නිල වශයෙන් බිඳ වැටීමට දෙසතියකට පෙරය. ප්‍රකාශකයකු සොයා ගැනීම දුෂ්කර වූයෙන් (එකල පැවති සමාජ - ආර්ථික ව්‍යසනය නිසා) ඔහු, සිය මිතුරන්ගේ ආධාරයෙන්, කර්තෘ ප්‍රකාශනයක් ලෙස එය පළ කළේය. පොත්හල්වලට යමින්, බෙදා හැරීමේ කටයුත්තද ඔහුටම කරන්නට සිදු විය.

සිය ලේඛන කලා ජීවිතය එසේ ඇරඹු කුර්කෝව්, අද නවකතා 19ක් පළකොට ඇති, යුක්රේනයේ සුප්‍රසිද්ධ ගත්කරුවෙකි. රුසියන් බසින් ලියන නමුදු, ඔහුගේ නවකතා, විදේශීය භාෂා රැසකට පරිවර්තනය වී ඇති හෙයින් ඔහු යුරෝපයට ද ආගන්තුකයෙක් නොවේ. තිර රචකයෙකු ද වන කුර්කෝව්, රූපවාහිනී හා සිනමා තිරනාටක මෙන්ම වාර්තා චිත්‍රපට ද රචනයට දායක වී ඇත.

කුර්කෝව්ගේ නවකතා අතුරින්, වඩාත්ම ජනප්‍රිය හා සාර්ථක කෘතිය ලෙස සැලකෙන්නේ “Death and the Penguin” (මරණය සහ පෙන්ගුයින්) ය. එය අතිසත්වාදී ලක්ෂණයන්ගෙන් යුත්, උපහාසය පිරි ආඛ්‍යානයකි. මේ වන විට භාෂා 30කට පරිවර්තනය වී ඇත.

කීව් නගරය පසුතලය කරගත්, මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වික්ටර් සොලොමාර්යොව් නමැති තරුණයෙකි. ඔහු ලේඛකයකු වීම සඳහා උත්සාහ දරන්නෙකි. එහෙත් ඔහුට ලැබෙන රැකියාව, පුවත්පතක, මරණ දැන්වීම් ලිවීමය.

වික්ටර් ‘මීෂා’ නමැති පෙන්ගුයින් පක්ෂියෙකු ඇති කරයි. එකල සුදුසුකම් ඇති අයට, කිව් සත්ත්ව උද්‍යානයෙන් විවිධ සතුන් ලබා ගත හැකිව තිබිණි. මීෂා හා වික්ටර් අතර පවතින අපූරු මිත්‍රත්වය, විවිධ කෝණයන්ගෙන් විග්‍රහ කළ හැකිය. වික්ටර් මෙන්ම මීෂා ද නිතර කලකිරීමෙන් දොම්නසින් පසු වෙයි. මීෂා පක්ෂියෙකුට වඩා ළංවන්නේ මිනිසෙකුටමය. එහෙයින් පියා සැලීමට නොහැකි වර්ගයේ පක්ෂියෙකු වන මීෂා වික්ටර්ගේම ආත්මයේ වෙනත් රූපයක්දැයි සැක සිතේ. මීෂා නමැති පුද්ගලයෙකු ද වික්ටර්ට හමු වෙයි. ඔහුට නැගණියක් ද සිටී. ඇයගෙන් වික්ටර්ට විශාල මුදලක් ද ලැබෙයි.

වික්ටර්ගේ පුවත්පතේ කතුවරයා ඔහුට ලිවීමට පවරන මරණ දැන්වීම් බොහෝමයක් පළ නොවෙයි. ප්‍රකට පුද්ගලයන් වන ඔවුන්ට නියමිත මරණයන් හා මාෆියා කල්ලිවල සම්බන්ධයක් ඇති බව ද අනාවරණය වෙයි. ‘ෆැට් මෑන්’ නොහොත් තරබාරුවා නමැති පුද්ගලයකු ද මරණ දැන්වීම් ලිවීම සඳහා අලුතින් පත් කෙරෙයි.

මේ අතර මීෂා අසනීප වෙයි. පක්ෂියා සුවපත් කර ගැනීමට නම්, කුඩා දරුවකුගේ හදවතක් බද්ධ කළ යුතුය. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍යය. එය ගෙවීමට නිර්නාමික පුද්ගලයකු ඉදිරිපත් වුවද වික්ටර් ඊට නොකැමැති වෙයි.

මීෂාට ඇත්තේ පෙන්ගුයින් සමාජයෙන් දුරස්ව ජීවත් වීම නිසා ඇති වූ රෝගයක් බව වික්ටර්ට දැනෙයි. හොඳම ප්‍රතිකාරය වන්නේ ඇන්ටාක්ටිකාවේ වෙසෙන මීෂාගේ හිතවතුන් වෙතම ඌ ආපසු යැවීමය. කතාව අවසානයේ මීෂා ද සමඟ වික්ටර් ද මිනිස් වාසයෙන් තොර ඇන්ටාක්ටිකාව බලා පිටත්ව යයි.

සංකේතරූප සහිත සාංදෘෂ්ටික දැක්මකින් යුතු ‘පෙන්ගුයින් සහ මරණය’ පශ්චාත් සෝවියට් සමාජය තුළ ඇති වූ විපර්යාසයන්, මනුෂ්‍යයාට බලපෑ අයුරු කියැවෙන යටිපෙළක් ඇති නවකතාවක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.

සෝවියට් සංගමයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් වුවද යුක්රේනියාව පිරිසුදු වූයේ නැත. පාතාල කල්ලි, ජීවන වියදම හා දූෂිත දේශපාලනඥයන් සමාජ ක්‍රමය තුළ පිළිලයන් සේ වැඩුණි. අන්ද්රේ කුර්කෝව්ගේ විකාරරූපීත්වය මඟින් මතු වන්නේ එයයි. සැබැවින්ම එය අඳුරු ප්‍රහසනයකි. තම ප්‍රහසනය, වර්තමානයේ ශෝකාන්තයක් බවට පත්ව ඇති අයුරු කුර්කෝව් වේදනාවෙන් යුතුව බලා සිටිනවා ඇත. ඔහු දැන් ජීවත් වන්නේ මරණ දැන්වීමකින් හෝ තොරව තැන තැන මිය යන අවතැන් මිනිසුන්ගෙන් සැදි රටකය.

නව අදහස දක්වන්න