රන් කොත දිලේ ගිරි මුදුනේ රැස් විහිදා පුද දෙමු බැතින් කූරගල මහ සෑ රජිදා | දිනමිණ

රන් කොත දිලේ ගිරි මුදුනේ රැස් විහිදා පුද දෙමු බැතින් කූරගල මහ සෑ රජිදා

මෙවර රාජ්‍ය වෙසක් උලෙළ කූරගල මහ පුදබිමේදී

බැතිබර මාධ්‍ය අනුග්‍රහය - ලේක්හවුස් ආයතනය

මෙරට පූජනීය ස්ථාන එමටයි. ඒ බොහොමයක් කලක් තිස්සේ කෙමෙන් සංවර්ධනය කෙරෙමින් පවතියි. එහෙත් මේ ගමන ඊට වෙනස් පුදබිමක් වෙතයි. දෙනෝදාහකගේ ඇස්පනා පිටම අවුරුද්දක් තරම් කෙටි කලෙකදී සැබෑවක් කරවූ මෙරට සිව්වනක් පිරිස අඩසියවසක් තිස්සේ කළ ආයාචනයක් මල්ඵල ගැන්වීමකි මේ. එතරම්ම කලක් අත්තනෝමතික, මිසදුටු සුළු පිරිසකගේ ග්‍රහණයෙන් ගලවා ගැනීමට පැවිදි, ගිහි පින්වතුන් අරගල කළ, දුරාතීතයේදී මහරහතුන් වැඩවිසූ ඵෙතිහාසික රාජමහා විහාරස්ථානයකි, කූරගල. පූජා භූමියක් වශයෙන් රජයෙන් නම් කෙරුණු කූරගල රජමහා විහාරය එළැඹෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් ලෝ වැසි ජනීජනයා වෙනුවෙන් තිළිණ වන වග විශ්වයට කියාපානා පින්බර අඬහැරයකි.

'යළි පිබිදුණු කූරගල'

ඉඳින්, කූරගල පුදබිමේ ඉදිකිරීම් මෙතරම් කෙටි කාලයකදී සම්පූර්ණ කිරීමට හැකිවීම විශේෂත්වයකි. ආශ්චර්යයකි. මෙරට සැදැහැති ජනතාවගේ තුටු පඬුරින් රුපියල් මිලියන 1500ක වියදමින් දශක ගණනාවක් තුළ මෙරට තැනූ, අක්කර 175ක් පුරා විහිදී පැතිරී තිබෙන මෙරට සුවිශාලම විහාරාරාම සංකීර්ණය මෙයයි. තවද, මේ යුගයේ තවත් මෙවන් උත්තුංග පුදබිමක් අංග සම්පූර්ණ අයුරින් මේ අන්දමින් ඉදිකොට නිම කළ නොහැකි වනු ඇති වගත් මේ වෙනුවෙන් දහදිය වැගිරූ රටපුරා විහිදී පැතිරී සිටින මිලියන 2කටත් වැඩි සැදැහැති උවසු උවැසියන්ගේ අදහසකි. ඒ වගට දිවා රෑ නොබලා මේ පුදබිමට පින් පුරන්නට සපැමිණෙන සැදැහැවතුන් ජීවමාන සාක්ෂිකරුවන් ය.

ඉකුත්දා අපට මුණ ගැසුණු නෝටන් බ්‍රිජ්හි සිට කූරගලට පැමිණි ආර්. එස් විමලාවතී හා එස්. පුංචිමහත්මයා ද මොළමුරේ පදිංචි දයානි පුෂ්පලතා, බලවින්න සිට කූරගලට සපැමිණි එච්. කේ කුලවීර, නිමේෂ් ඉඳුවර, එච්. කේ කුලරත්න, බී.ජී ස්වර්ණලතා චෛත්‍යයේ කොත ඉදිකිරීමේ නිරත තිස්ස වීරක්කොඩි ප්‍රමුඛ යුද්ධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක බළකායේ කණ්ඩායම් ද මේ සද්කාර්යයේ නිරත වන්නේ අපමණ ශ්‍රද්ධාවකිනි. කැපකිරීමකිනි. එමෙන්ම, බලන්ගොඩ, විකිලිය ගම් පියසේ එම්. එල් කුසුමාවතී සහ එම්. එල්. සෙනුර මවු පුතු දෙදෙනාත් මේ මහා විහාර කර්මාන්තය අගය කරන, ඒ පිළිබඳ ඇපකැපවී සිටින තවත් ජීවමාන සාක්ෂිකරුවන් ය.

සැබැවින්ම, ක්‍රිස්තු පූර්ව යුගය තෙක්ම දිවෙන ලිඛිත ඉතිහාසයකට හිමිකම් කියන මේ පින්බිමෙහි අලුතින් ඉදි කෙරුණු හා ප්‍රතිනිර්මාණය කළ අසමසම සිද්ධස්ථාන රැසකි. ඒ උද්‍යාන, වැව්, පොකුණු, මහාමාර්ග, මළුපෙත් මං ආදියට අමතරවයි. දැන් අපි ඉන් අවට අනන්තයට පැතිරෙන පරිසරයටත් නැවතත් දෑස් හරවමු.

ඉඳින්, හාත්පස දසුන් මනරම්ය. කඳු පන්ති කූරගල වටකරන් වන්දනාමාන කරන සැටියකි. සපරගමුවේ උසම පුදබිම පමණක් නොවේ. මෙරට පළාත් හා දිස්ත්‍රික් ගණනාවක් පුරා පැතිරුණු මෙරට අන් කිසිම කඳු මුදුනකට නොපෙනෙන තරම් සුවිසාල වපසරියක සිරි විසිතුරු එකම කඳු ශිඛරයක් මුදුනකදී මවන්නට තරම් කූරගල මනස්කාන්තය. නෙත්කලුය. පින්බරය.

ඉඳින්, පසෙකින්, මීදුම් පෙරවූ කඳු ගැට ය. තවත් අතකින් නිල්වනින් ළෙලෙන කෙත් වතු මවනා රූ රටා ය. දුරින් 'උඩවලව' නිල් දියවරයි. මෑතින් බුදුගල ඇතුළු පරිවාර පින්බිම් පෙළකි. සමන්තකූට පර්වතය ද කතරගම පින්බිම ද කූරගල දෙසට හැරුණු ගමන් ය. හම්බන්තොට වරායත්, ගුවන් තොටත්, සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණය ආදියත් කූරගල මුදුනට දිස් වන්නේ අඟුටුමිට්ටන් මෙනි.

එසේම, සයුර ඉසව්වෙන් මෙරට බලා යාත්‍රා කරන නෞකාවක මගීන්ට හා පුරා කියා මුලින්ම දිස්වන්නේත් අන් කිසිවක් නොව, කූරගල මුදුනතින් අහස් කුසට නැඟෙන අඩි 130ක් උසැති අසදිසි ශාක්‍ය සුගත මහා සෑයයි. ඉන් මෙරටට සපැමිණෙන දෙස් විදෙස් කාටත් පුණ ්‍යවන්ත සිරිලක කෙරෙහි සුපහන් හැඟුම් පුබුදුවයි.

ඒ ඈතිනි. මෑතින්, නෞකාවක හැඩහුරුකමින් ඉදිවන අසදිසි ශාක්‍ය සුගත සර්වඥ සහ මහරහත් උතුමන්ගේ ධාතුන් වහන්සේලා වැඩවසන සුගන්ධ කුටියයි. ඊට නුදුරින් සුදෝ සුදුවට දිස් වන්නේ එකවර 3000කට වඩා වැඩි පිරිසකට පෙහෙවස් සමාදන් විය හැකි වන සුවිශාල දම්සභා මණ්ඩපය සහ පරිපාලන ගොඩනැඟිලි සංකීර්ණයයි. ජය ශ්‍රී බෝධි මණ්ඩපයත්, මේ ප්‍රදේශාධිපති, ආර්ය ශ්‍රාවක සුමන සමන් දේව ප්‍රතිමාවත් ඉදි කෙරේ. අභිමානවත් සිංහ ප්‍රතිමාව කූරගල පුදබිමේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවි දෙවැනි කොට කැපකිරීම් කළ පැවිදි, ගිහි උතුමන් වෙනුවෙන් පිදෙන උපහාරයකි. සැබැවින්ම 21 වැනි සියවසේ 2වැනි දශකයේ විසූ මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් දහදියෙන් නිමවුණු පරම පවිත්‍ර ශාසනික නිර්මාණයක් වශයෙන් කූරගල සැලකෙයි.

'එළැඹෙන වෙසක් සඳේ මහිමය'

කූරගල රජමහා විහාරයට එළැඹෙන වෙසක් පොහොය සුවිශේෂීය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත මේ විහාරාරාම සංකීර්ණයේදී ය. ඒ වෙනුවෙන් වෙසක් පොහෝ දින (15) සිට 22 දින තෙක්ම විවිධ පින්කම් මෙහිදී පැවැත්වෙයි. ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ කූරගල ගොඩනැංවීමට දායකත්වය සැපයූ සම්පත් දායකයන් ඇතුළු සැදැහැවතුන්ගේ ප්‍රධානත්වයෙන් කලාප ගණනාවකට බෙදා වෙන් කොට තිබෙන මේ පින්බිම ලොවට දායාද කිරීමේ මහා උත්සවයේ කටයුතු සැලසුම් කර තිබේ. ඒ අනුව වෙසක් පොහෝ දිනයේදී කූරගලදී ආධ්‍යාත්මික, ආමිස, අධ්‍යාපනික හා ආර්ථික වශයෙන් කලාප දක්නට පුළුවන. ඒ එකිනෙක දිවයිනේ සතර දෙසින් මෙහි පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙනි. ආධ්‍යාත්මික සහ ආමිස කලාපවලදී කලින් සඳහන් පූජනීය ස්ථාන රැසක් වැද පුදා ගැනීමටත් සිල්සමාදන්ව, භාවනානුයෝගීව විසීමටත් පුළුවන. අධ්‍යාපනික කලාපය අලුතින් වෙහෙර විහාර ඉදි කෙරෙන කාටත් කදිම ආදර්ශයකි. දෙස් විදෙස් විද්‍යාර්ථින්ගේ ධර්ම අධ්‍යාපනයට කැපවූ ඉන් ගිහි පින්වතුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමත් විශේෂත්වයකි. මෙරට අගනා සංස්කෘතික අංග මතු පරපුර වෙනුවෙන් උරුම කරදීම පිණිසත් එය පිහිටුවා ඇත. එසේම ආර්ථික කලාපය මෙවන් පින්බිම් සහ ඊට දායකත්වය සපයන පින්වතුන්ගේ ආර්ථික සමෘද්ධිය අරමුණු කොට ගෙන පිහිටුවා තිබේ. ඉතින් මේ ඉතා කෙටියෙනි. එහි නියමුවාණන් වන වතුරකුඹුෙර් ධම්මරතන හිමියන්ගෙන් අපි දැන් ඒ පිළිබඳ තවදුරටත් විමසමු.

'කූරගල අඩ සියවසක් පමණ ( 1971 - 2021) සැදැහැවත් බෞද්ධයන්ට මං වැසුණු ඓතිහාසික ෙබෟද්ධ පුදබිමක්. ක්‍රි. පූර්ව 3වැනි සියවස තෙක් මෙහි ඉතිහාසය දිවෙනවා. ඒ, අතීතයේදී මහරහතුන් භාවනානුයෝගිව වැඩවිසූ පින්බිමක් විදියටයි. එතෙක් එය ගලවා ගැනීමට කිසිවකුට හැකියාව ලැබුණේ නැහැ. ඒ තත්ත්වය වෙනස් කරමින් අපි 2001 වර්ෂයේ මාර්තු 28දායි යළි පිබිදෙන කූරගල මැයෙන් 57000ක් බෞද්ධ සැදැහැවතුන් හමුවේ අපි ඉදිරි ගමන ඇරඹුවේ. ඒ ඉදිරි වසරකදී මහා වැඩ කන්දරාව නිම කරන අදහසින්. දැන් අපි ඒ ඉලක්කයට පැමිණ සිටිනවා. මෙරට මහජන මුදලින් නොවෙයි, සැදැහැවතුන්ගේ තුඩු පඬුරින් මේ මහා විහාර කර්මාන්තය කළේ. වසංගතයක් සහ කාල විපත්තියක් සහිත කාලයකදී මෙවන් සුවිශාල නිර්මාණයක් කළ මෙරට බොදුනු ජනතාවට මෙහි ගෞරවය අත්විය යුතුයි.

එසේම, මේ අවට අමරපුර, සියම්, රාමඤ්ඤ‍ සෑම මහා නිකායකම පුදබිම්, විහාරාරාම සංවර්ධනය සහ ඒවායේ අලුතින් ඉදිකිරීම් කූරගලට සමගාමීව සිදු කෙරුණා. අවට පාසල්, මහා මාර්ග ආදියත් සංවර්ධනය කෙරුණා. එවන් කූරගල කිසිසේත්ම දේශපාලනීකරණයක් වීමට ඉඩක් නැහැ. ඉදිරියටත් එය එසේමයි. කිසිවකුත් ඊට සූදානම් නොවන ලෙසටත් මා ඉල්ලා සිටිනවා. අනෙක අවුරුද්දක සිටම ලේක්හවුස් ආයතනය යළි පිබිදෙන කූරගල වැඩපිළිවෙළ වෙනුවෙන් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් කළ මෙහෙය අපමණයි. ඒ වෙනුවෙන් එම ආයතනික සියල්ලන්ටත් එම පාඨක පිරිසටත් කෘතවේදිත්වය පළ කිරීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා...'

දැන් අපි නැවතත් කූරගල හාත්පස සැරිසරමු. එමෙන්ම, තවත් එක් විහාරාරාම සංකීර්ණයකින් ඔබ්බට යෑමත් තපෝවනයක සිරි ගන්නා මෙහි විශේෂත්වයකි. ඒ අනුව මැයි පළමුවැනිදා අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ වර්ණ පූජා පින්කම ද 7දා කොත් වහන්සේ තැන්පත් කිරීමත් වෙසක් පුන්පොහෝදා කොත් වහන්සේ නිරාවරණය කිරීමත් ආදී පින්කම්වලටත් ලෝකවාසි බෞද්ධයන්ට කූරගල දායක කිරීමත් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමත් නිමිත්තෙන් ඉදිකෙරෙන වෙසක් තොරණ, පහන් කූඩු සංදර්ශන, ධර්ම සාකච්ඡා ආදියත් එතැන පැවැත්වේ. ඊට මිලියන 3කට ආසන්න ජනතාවක් සහභාගි වනු ඇතැයි යුගයේ මේ මහා විහාරාරාම කර්මාන්තයේ නියමුවාණන් වන, නෙල්ලිගල හාමුදුරුවෝ නමින් විරුදාවලි ලත් වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ අපේක්ෂා කරති.

මේ මහා පින්බිම සංවර්ධනයත් සමඟ බලන්ගොඩ, කල්තොට ඇතුළු සපරගමුවට ඝෘජුවම විශාල සෙතක් අත් වුණි. මහා මාර්ග, ජල පහසුකම්, ප්‍රවාහන මෙන්ම පාසල්, රෝහල්, විහාරස්ථාන රැසකටම සංවර්ධනයේ අරුණලු වැටිණි. ඉන් ඉදිරි පරම්පරාවලටත් සමෘද්ධිය සැලසෙයි. දැන් ඉරගල වැටෙන යාමයයි. හෝරා ගණනාවක් කූරගල සැරිසැරුම අදට නිමා කරන්නට කාලය එළැඹ ඇත. ඉඳින් සිත් පහදවාගෙන කූරගල රජමහා විහාර පින්බිම අපිත් වැද පුදා ගනිමු. මතු පරපුරට මේ පින්බිම මේ අයුරින්ම රැක දීමට අදිටන් කර ගනිමු.

 

නුවන් මහේෂ් ජයවික්‍රම

ඡායාරූප - ගයාන් පුෂ්පික

නව අදහස දක්වන්න