ගාලුමුවදොර පහර දීම ගැන අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න | දිනමිණ

ගාලුමුවදොර පහර දීම ගැන අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න

නීතිපති පොලිස්පතිට දැනුම් දෙයි

ගාලුමුවදොර පිටියේ සිදු කළ පහර දීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මේ සිද්ධියට අදාළ හේතු සොයා බලන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදු කරන ලෙසට ද දන්වා ඇත.

සාමකාමි විරෝධතාවල නියැළී සිටින පිරිස් වෙත ප්‍රහාර එල්ල වීම වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව එමඟින් නීතිපතිවරයා දන්වා ඇති අතර එම වගකීම් පැහැර නොහැරිය යුතු බවත් දන්වා තිබේ.

මේ අතර පොලිස්පතිවරයා එම සිද්ධියට අදාළව කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙසත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (10) දහවල් නියෝග කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර ගාලුමුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදු කරන ලෙස නීතිඥවරුන් ඊයේ (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ ඉල්ලීම සිදු කර ඇත.

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිර්පාක්ෂික, සාමකාමි විරෝධතා කලාපය ඊයේ (10) 32 වැනි දිනටත් ක්‍රියාත්මක විය. ඔවුන් තවදුරටත් අරගලයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයා ද සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න