තලාහේනේදී පුනරුත්ථාපන රැඳවූවන් පිරිසකට විරෝධතාකරුවෝ පහර දෙති | දිනමිණ

තලාහේනේදී පුනරුත්ථාපන රැඳවූවන් පිරිසකට විරෝධතාකරුවෝ පහර දෙති

රැඳවූවෝ 58ක් අතුරුදන්

කොළඹ සිට වටරැක බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයකින් රැගෙන යමින් සිටි පුනරුත්ථාපනය වන රැඳවූවන් පිරිසකට ප්‍රකෝපකාරීන් පිරිසක් විසින් පෙරේදා (09) මාලබේ තලාහේන ප්‍රදේශයේදී කළ පහර දීමකින් රැඳවූවන් 10 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් කීපදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මේ අවස්ථාවේදී ඇති වූ කලබලකාරි තත්ත්වය හමුවේ මේ බස් රථයේ සිටි තවත් රැඳවූවන් 58 දෙනකු මේ වන විට අතුරුදන් වී ඇතැයිද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පුනරුත්ථාපනය වන මේ රැඳවූවන් 30ක පමණ පිරිසක්, වැඩසහන ක්‍රමය යටතේ කොල්ලුපිටිය සිලක් ආයතනය වෙතත් රැඳවූවන් 105ක් රාජගිරිය ප්‍රදේශයේ අයිකොනික් ආයතනයේත් බත්තරමුල්ල මාගා ආයතනයේත් ඉදි කිරීම් කටයුතු සඳහා උදෑසන සේවයේ යෙදවීමෙන් අනතුරුව සවස් කාලයේ ආපසු රැගෙන එමින් සිටියදී මේ පහර දීමට ලක් වී ඇත.

පෙරේදා (09) සවස රට තුළ ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ සිරකරුවන් නැවත වටරැක බන්ධනාගාරය වෙත රැගෙන එන අවස්ථාවේදී තලාහේන ප්‍රදේශයේදී කලහකාරි පිරිසක් විසින් බන්ධනාගාර බස් රථවලට ප්‍රහාර එල්ල කර ඇති අතර කලබලයට හා බියට පත් මේ රැඳවූවන් පිරිස බස් රථවලින් බැස තිබේ. එහිදී සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්ට තුවාල සිදු වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රැඳවූවන් පෙරේදා (09) රට තුළ පැවති කලහකාරි ක්‍රියා සඳහා යොදාගත් බවට ඇතැම් සමාජ මාධ්‍ය පුවත් පළ කර තිබූ බවත් එය සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.

බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ රැඳවූවන් පුහුණු ශ්‍රමිකයන් බවට පත් කිරීමේ වැඩසටහනට මේ සිරකරුවන්ද බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ දායක කර ඇති බවත් එම සිරකරුවන් කිසිසේත් රට තුළ ඇති වූ කලහකාරි ක්‍රියාවන්ට සම්බන්ධ නැති බවත් කොමසාරිස්වරයා අවධාරණය කරයි.

දැනට බන්ධනාගාර රැකවරණයෙන් මිදී පළා ගොස් සිටින සිරකරුවන් 58 දෙනා සම්බන්ධව තොරතුරක් දන්නේ නම් ඔවුන්ට කිසිඳු හිංසාවක් නොකර බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දන්වා සිටින ලෙසත් උපුල්දෙණිය මහතා ඉල්ලීමක් කරයි.

නව අදහස දක්වන්න