ගැටුම්වලින් 8 දෙනෙක් ජීවිතක්ෂයට | දිනමිණ

ගැටුම්වලින් 8 දෙනෙක් ජීවිතක්ෂයට

ගාලුමුවදොර ඇතුළු දිවයින පුරා ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරියකු ඇතුළු 08 දෙනකු මිය ගොස් තිබේ.

ඉමදූව ප්‍රා. සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර (පො.පෙ) මහතාගේ නිවෙසට ඊයේ (09) රාත්‍රී විරෝධතාකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් පසුව අසනීප තත්ත්වයේ පසු වූ සභාපතිවරයා කරාපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.

මේ අතර නිට්ටඹුවේදී ඇති වූ ගැටුමකින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අරගලකරුවන් සිදු කළ පහර දීමකින් අනතුරුව හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති අතර ඔහුගේ රියැදුරු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

වීරකැටියේ ඇති වූ සිද්ධියකින් එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව තවත් පුද්ගලයකු මියගොස් දසදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

දිවයින පුරා ඇති වූ ගැටුම් හේතුවෙන් ඊයේ (10) වන විට පුද්ගලයන් 219 දෙනකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් 08 දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අරලියගහ මන්දිරය අසලදී පෙරේදා (09) රාත්‍රියේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර කඳුළු ගෑස් අවියක් පිපිරීමෙන් උප පොලිස් පරීක්ෂකවරයකු මියගොස් ඇති අතර එම උප පොලිස් පරීක්ෂකවරයා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට අවිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම පිපිරීමෙන් ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

නිරායුධ විරෝධතාකරුවන්ට සිදු කළ පහරදීම්වලින් කුපිත වූ අරගලකරුවන් මෙලෙස පහර දීමෙන් මේ පිරිස මියගොස් ඇත.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න