මෙරට සුළු-කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට USAID සමඟ DFCC එක් වෙයි | දිනමිණ

මෙරට සුළු-කුඩා-මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට USAID සමඟ DFCC එක් වෙයි

මෙරට සුළු, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය (USAID) සමඟ එක්ව කටයුතු කිරීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ.

මෙරට ආර්ථිකයේ ජීවනාලිය සුළු, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩය වන අතර, මෙරට ව්‍යාපාරවලින් සියයට 75ක්ම මේ කාණ්ඩයට අයත් වෙයි. එය මෙරට රැකියා උත්පාදනයට සියයට 45ක සහ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 52ක දායකත්වයක් දෙයි. කෙසේ වුවත් බැංකුවලින් මූල්‍ය පහසුකම් ගැනීමේදී මේ කාණ්ඩයේ ව්‍යාපාරවලට විවිධාකාර වූ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වේ.

තම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සහ විශ්වාසදායක වාර්තා පවත්වා ගැනීමට මේ ව්‍යාපාර අසමත් වීම හේතුවෙන් විශේෂයෙන්ම කාන්තාවන්ගේ හිමිකාරීත්වය හා කළමනාකාරීත්වය යටතේ පවතින ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල වී තිබේ. මේ ගැටලුව අවම කරමින් ශ්‍රී ලංකාවේ MSME කාණ්ඩයේ ව්‍යාපාරවලට අත්වැලක් වීම සඳහා USAID CATALYZE Private Sector Development Activity (PSD) වැඩසටහන සමඟ හවුල්කාරීත්වයකට එළැඹීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. Palladium Group මඟින් ක්‍රියාවට නංවනු ලබන මේ ව්‍යාපෘතියෙහි මූලික අරමුණ වන්නේ කාන්තාවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපාර ඇතුළුව MSME කාණ්ඩයේ ව්‍යාපාරවලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමයි.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා දෙපාර්ශ්වයේ නියෝජිතයන් විසින් අත්සන් තබන ලද අතර, වර්ධනය සඳහා ඉහළ සම්භාවිතාවක් සහිත ක්ෂේත්‍ර ලෙස සැලකෙන සංචාරක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, වාණිජ සත්කාර, ඇඟලුම් සහ ආහාර සැකසුම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට මෙහිදී ප්‍රමුඛත්වය හිමි වෙයි. DFCC බැංකුව සහ USAID අතර හවුල්කාරීත්වයේ ප්‍රධාන තේමාව වන්නේ කාන්තාවන්ට මූල්‍ය සේවාවන් සපයමින් ඔවුන්ගේ දියුණුවට අවස්ථා උදා කර දීමයි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න