නීතිය සහ පුරවැසි වගකීම | දිනමිණ

නීතිය සහ පුරවැසි වගකීම

නීතිය පිළිබඳ සංකල්පය මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම දිව යන්නකි. මිනිසා ලොව පහළ වූ මුල් අවධියේ පෞද්ගලිකව බලපාන අන්දමින් නීති නොතිබුණ ද කිහිප දෙනා වශයෙන් සංවිධානය වීමත් සමඟ එම එකමුතුව රැක ගැනීම සඳහා අවශ්‍යතාව ඇති විය. නීති වශයෙන් හැඳින්වූයේ නැතත්, ගෝත්‍රවලට බලපාන පරිදි චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමෙන් අපේක්ෂා කළේ එයයි. එම සිරිත් විරිත් එලෙසින්ම ආරක්ෂා කිරීම ද සිදු විය. පොදු මතයක පිහිටා කටයුතු කිරීමට ගෝත්‍රික සමාජයකට වුව ද හැකි වූයේ එබැවිනි.

යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගා දාර ආශ්‍රිතව මෙසපොතේමියානු ශිෂ්ටාචාරය බිහි වීමත් සමඟ පැරැණිතම නීති සංග්‍රහය වශයෙන් පිළිගැනෙන හමුරාබි නීති සංග්‍රහය ද ඇති විය.

ජස්ටීනියන් නීති සංග්‍රහය

ක්‍රි.ව. 6 වැනි සියවසේදී පමණ රෝම අධිරාජ්‍ය සමයේ ජස්ටීනියන් නීති සංග්‍රහය සම්පාදනය කෙරිණි. මෙසේ බලන කල නීති සමාජයේ පැවැත්ම සඳහා අවශ්‍යම වූ බව පැහැදිලි වේ. ප්ලේටෝ විවසින් නීති හඳුන්වනු ලැබුවේ සමාජය මෙහෙයවන උපකරණය වශයෙනි. අතීතයේදී නීති සම්පාදනය කළේ ද ක්‍රියාත්මක කළේ ද විධායකය වශයෙන් හැඳින්විය හැකි රජු විසිනි. අපේ රටේ ද එය එපරිදි විය. රජුගේ කටයුතු පාලනය කිරීම සඳහා ද නීති තිබිණි. බෞද්ධ භික්ෂූන් වහන්සේ, මහජන මතය, පෙර සිරිත ඊට පදනම් විය. මහා වංශය කතුවරයා විසින් ද ධාර්මික රජකු වශයෙන් හඳුන්වන එළාර රජු වසර 44ක් තරම් කාලයක පාලනය කළේ පෙර සිරිතට අනුගමනය කළ බැවිනි.

වර්ෂ 1505 සිට විදේශීය ආක්‍රමණයන් ද සමඟ අලුත් නීති සංකල්ප හඳුන්වා දීම ද සිදු විය. පෘතුගීසින් නීතිය පිළිබඳ විශේෂිතව මැදිහත් වීම් නොකළ අතර මෙරට මුතු මැණික්, කුළු බඩු ආදිය විදේශයන්ට අලෙවි කර ලාභ ඉපැයීම කෙරෙහි උනන්දු විය.ක්‍රි.ව. 1658 දී පමණ ලංකාවේ මුහුදුබඩ පළාත්වල පාලනය ගෙන ගිය ලන්දේසිහු එතෙක් ක්‍රියාත්මක වූ පහත රට නීතිය වෙනුවට රෝම ලන්දේසි නීතිය හඳුන්වා දුන්හ. උතුර පළාත පාලනය කිරීම සඳහා තේසාවලමෙයි නීතිය ද මුස්ලිම් ජනයා වෙනුවෙන් ඉන්දුනීසියාවෙන් රැගෙන ආ අදට ද මුස්ලිම් ජනයා කෙරෙහි බලපාන්නා මුහම්මද් නීතිය ද හඳුන්වා දීම සිදු විය. වර්ෂ 1796 දී ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් යටත් කර ගැනීමෙන් අනතුරුව 1815 දී කන්ද උඩරට රාජධානිය ද බිඳ වැටී රට යටත් විජිතයක් වීමත් සමඟ උඩරට නීතිය වෙනුවට රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක කෙරිණි. පොදු නීතිය වශයෙන් ඉංග්‍රීසි නීතිය බල පැවැත්විණි. මෙවැනි නීති බොහොමයක් අදට ද ක්‍රියාත්මකය.

රටකට නීති අවශ්‍ය ඇයි?

රටකට නීති අවශ්‍ය ඇයි? යන ප්‍රශ්නයට පිළිතුරු දීමේදී සමාජය මෙහෙයවන උපකරණය වශයෙන් ප්ලේටෝ කළ හැඳින්වීම අදාළ කර ගත හැකිය. අපේ රටේ ද වර්තමාන පාලන තන්ත්‍රය සමන්විත වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන එකකට එකක් පරයා නොයන එකකින් එකක් යටපත් නොකරන්නා වූ කුලුනු 3කිනි.

ඉංග්‍රීසින් හඳුන්වා දුන් කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය යටතේ ව්‍යවස්ථාදායක සභාවක් ස්ථාපිත කෙරිණි. ඊට මහජන නියෝජිතයන් තේරී පත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදීවය. වර්තමානයේදී නීති සම්පාදනය කරන ආයතනය පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකයයි. විධායකය යනු ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. ව්‍යවස්ථාදායකය මඟින් සම්මත කරන්නා වූ නීති ක්‍රියාත්මක කරන්නේ අධිකරණය මඟිනි. අධිකරණයේ ස්වාධීනත්වය ඉහළින්ම ආරක්ෂා විය යුතුය. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය එකිනෙකා පරයා නොයන්නා වූ මෙම පාලන ක්‍රමය "සංවරණ හා තුලන" ක්‍රම වශයෙන් හැඳින්වේ. රටක සමාජයේ පැවැත්ම සම්බන්ධයෙන් රජයේ පටන් සාමාන්‍ය පුරවැසියා දක්වාම සමාජය මෙහෙයවන්නා වූ උපකරණය වන නීතිය බල පැවැත්වේ. නීතියේ පාලනය බිඳ වැටීම සිදු නොවිය යුත්තකි. නීතිය සර්ව සාධාරණ විය යුතුය යනුවෙන් පැවසීමෙන් අදහස් කෙරෙනුයේ එය සෑම තරාතිරමකම එක හා සමානව බලපැවැත්විය යුතු බවයි. එය ශිෂ්ටසම්පන්න සමාජයක ලක්ෂණයකි. ජාති, ආගම්, කුල, ස්ත්‍රි-පුරුෂ ආදී කිසිදු භේදයක් එහිදී අදාළ නොවේ. වර්තමානයේ බලපවත්නා 78' ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ද කිසිදු භේදයකින් තොරව මූලික අයිතීන් ආරක්ෂා විය යුතුය යන්න පිළිගෙන ඇත. අපේ රටේ ඉන්දියාවේ මෙන් ජීවත්වීමේ අයිතිය ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන නැතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉද්දමල්ගොඩ නඩුවේදී ජීවත්වීමට ඇති අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගෙන තිබේ. මිනිසුන් වශයෙන් කිසිදු වෙනස්කමකට භාජන නොවිය යුතු බව පිළිගෙන ඇත.

මෙට්‍රොපොලිටන් පොලිසිය

බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිසිය ඇති කළ තැන් පටන් පොලිසිය නීති ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දේ. නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිසිය යනු ඉතා වැදගත් ආයතනයකි. තුන් වෙනි ලෝකය වශයෙන් හඳුනා ගන්නා රටවල පොලිසිය එම කාර්යය සාධාරණව හා අපක්ෂපාතීව ඉටු කරන්නේ ද යන කාරණය සම්බන්ධයෙන් ගැටලු තිබිය හැකි වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය යනු වැදගත්ම හා අත්‍යවශ්‍ය ආයතනයකි. පොලිසියට පැය 24ක් නිවාඩු දුන හොත් ඇති විය හැකි තත්ත්වය කෙබඳු විය හැකි දැයි සිතා බැලීමෙන් මේ වැදගත්කම පැහැදිලි කර ගත හැකි වනු ඇත. 83' කළු ජූලියේ අපකීර්තිමත් අත්දැකීම් හා 77' දී සිදු වූ ආණ්ඩු වෙනසත් සමඟ පොලිසියට නිවාඩු දීමත් සමඟ ඇති වූ තත්ත්වය අවධානයට ගැනීම වැදගත්ය. 83' කළුජූලියත් සමඟ ඇති වූ තත්ත්වය සමඟ ඩයස්පෝරාව බලවත් වූ අතර අද පවත්නා තත්ත්වයට පවා ඔවුන්ගේ බලපෑම් ඇති බව පෙනෙන්නට තිබේ.

විසිවෙනි සියවස ආරම්භයත් සමඟ එනම් 90' දශකය ගෙවී යද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැනි ආයතන විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට මූල්‍යාධාර ආදිය සපයා දීමේදී නීතියේ පාලනය, යහපාලනය වැනි කාරණා සළකා බලන මිනුම් දඬු බවට පත් කරගෙන තිබේ. මෙහිදී කාරණා කිහිපයක් මූලික වශයෙන් අදාළය. එනම්, රජය, රාජ්‍ය ආයතන හා මහජනතාව අතර ඇති සම්බන්ධය සම්පත් පරිහරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීම, මහජනයාගේ මූලික අයිතීන් රැකීම සම්බන්ධයෙන් රජයේ කැප වීම, රාජ්‍ය යන්ත්‍රණය, දූෂණ ආක්‍රමිකතා ආදියෙන් තොර වීම හා නීතියේ පාලනය පවත්වා ගැනීම ආදි වශයෙනි.

නීතියෙන් පලක් නැත යනුවෙන් සිතා නීතිය අතට ගැනීමට කිසිවකු ක්‍රියා කරයි නම් එය වනචාරි යුගයටත් ඔබ්බට ගමන් කිරීමකි. එවැනි තත්ත්වයක් තර්ජන, මංකොල්ලකෑම්, මිනීමැරුම් ආදියට හේතු වන අයුරු පැය 24ක් තුළ වුව ද දිස්වනු ඇත. එබැවින් අධිකරණය, පොලිසිය වැනි ආයතන නීතියේ පාලනය පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය. මේ වැදගත්කම නාරද කෞටිල්‍ය වැනි පඬිවරුන් පවා පෙන්වා දී ඇත. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ ද එය පැහැදිලි කරයි.

වර්තමානයේදී නීතිඥයන් ඇතැම් නඩු කටයුතු වෙනුවෙන් අධිකරණයේ නොමිලේ පෙනී සිටිය ද නීතිඥ ගාස්තු වෙනුවෙන් විශාල මුදලක් දැරීමට සේවා දායකයන්ට සිදුව ඇත. නඩු පමාව ද සිදු වේ. අධිකරණය තීන්දු දෙන්නේ ඉදිරිපත් වන සාක්ෂි මත පදනම්වය. ඇතැම් අවස්ථාවල දේශපාලන අරමුණු මත නඩු පැවරූ විට එම නඩුවල සාක්ෂි විමසීමේදී ඒවා තවදුරටත් පවත්වාගෙන යෑමට පවා නොහැකි බව පෙනී යන අතර විත්තිකරුවන් නිදහස ලැබීම දැකිය හැකිය. එවැනි නඩුවලට පැටලුණ විට සමාජ අපකීර්තියට ලක්වීම ද සිදු වේ.

නීතිය පාසල් විෂය මාලාවට

නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් ලෙස සැලකෙන්නේ නැත. නීතිය පිළිබඳ දැනුම පාසල් විෂය මාලාවන්ට ඇතුළත් කළ යුතුව ඇත. ලෝකයෙන්ම 1 ශ්‍රේණියේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම නිදහස් අධ්‍යාපනය සපයා දෙන රටවල් ඇත්තේ 2කි. ඒ කියුබාව හා ශ්‍රී ලංකාවයි. සමාජයේ ජීවත්වීමට අවශ්‍ය මූලික නීති දැනුම පාසල් කාලයේ පටන්ම දරුවන්ට දිය යුතුය. නීතිගරුක, ගුණගරුක, සදාචාරසම්පන්න පුරවැසියකු බිහි කිරීමට එය හේතු වනු ඇත. ඒ වෙනුවට කුඩා දරුවන් පවා පවත්නා නීතිවලින් බැහැරව උද්ඝෝෂණ, අරගල ආදියට රැගෙන යන තත්ත්වයක් දක්නට ඇත. එහි ප්‍රතිඵලය අනාගතය සම්බන්ධයෙන් හානිදායකව බලපානු ඇති බව පැහැදිලිය.

නීතිය අතට ගැනීමෙන් වැළැකිය යුතුය. පාලක පාලිත දෙපිරිසටම එහිදී වගකීමක් ඇත. විනය හා නීතියේ පාලනය බිඳවැටීම යනු සමාජයක රටක පරිහානියට හේතු කාරණා බව පිළිගත යුතුය. බුදු රජාණන් වහන්සේ භික්ෂු සමාජය හමුවේ දේශනා කළේ, විනයෝ ශාසනස්ස ආයු - ශාසනයේ ආයුෂ රැඳී ඇත්තේ විනය මතය යනුවෙනි. එය ඕනෑම සමාජයක් සම්බන්ධයෙන් එලෙසම අදාළය. පාලකයන්, රජය, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජය, මහජනයා වැනි සෑම කොටසක්ම නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම කෙරෙහි සැලකිලිමත් වීම වැදගත්ය. රටක් සංවර්ධනය කරා මෙහෙයවීමේදී ද එය අත්‍යවශ්‍යය.

විනය සහ නීතිගරුක බව

වෘත්තීය සමිති වැනි සංවිධාන නීතිය අතට ගෙන ක්‍රියා කරනු ද දැකිය හැකිය. එය රටේ ආර්ථිකය තවදුරටත් විනාශය කරා රැගෙන යනු ඇති අතර රටේ ප්‍රතිරූපය බිඳ දැමීමට ද හේතු වනු ඇත. එසේම විනිමය ඉපැයීම සම්බන්ධයෙන් බෙහෙවින්ම අදාළ වන්නා වූ සංචාරකයන්ගේ පැමිණීමට පවා මේ කාරණා හා පරිසරය බලපෑම්සහගතය. සංචාරකයන් අපේක්ෂා කරන්නා වූ නිදහස් පරිසරය, සාමකාමී බව පවත්වා ගැනීමට විනය මෙන්ම නීතිගරුක බව වැදගත්ය. ඇතැම් අවස්ථාවලදී සංචාරකයන්ට සිදු වූ විවිධ හිරිහැර පිළිබඳ පසුගිය දිනවල අසන්නට ලැබිණි. එය සංචාරක කර්මාන්තයට බලපාන කාරණයක් මෙන්ම රටේ ප්‍රතිරූපයට ද හානිකරය.

මේ සෑම කාරණයක් ඔස්සේම පැහැදිලිව පෙනී යන්නේ රටක හා සමාජයක ඉදිරි ගමන විනයගරුක බව හා නීතිගරුක බව මත විශාල ලෙස රැඳී ඇති බවය. එබැවින් නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් නීතිය අතට නොගෙන වගකීම්සහගත පුරවැසියන් ලෙස කටයුතු කිරීමට වග බලා ගැනීම සෑම අතින්ම වැදගත් වනු ඇත.

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න