මදාවිවාදය පැතිරවීමෙන් රටේ නීතිය ගිලිහී ගිහින් | දිනමිණ

මදාවිවාදය පැතිරවීමෙන් රටේ නීතිය ගිලිහී ගිහින්

හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම

ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමි උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් මදාවිවාදය පැතිරවීමේ ප්‍රතිඵලය ලෙස නීතිය රහිත රටක් බවට රට වේගයෙන් පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

නිදහසින් පසු අප මාතෘභූමිය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ ජනතාව අසීමිත පීඩනයකට පත්ව සිටින මේ අවස්ථාවේ සියලු පුරවැසියන් පක්ෂ, පාට භේදයකින් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉවසිලිවන්තව පොදු එකඟතාවකට පත් විය යුතු බව මන්ත්‍රීවරයා කීවේය.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාසයක පමණ කාලයක් සාමකාමිව පැවැත් වූ ප්‍රජාතන්ත්‍රවාදි උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේම ‘මදාවිවාදය‘ ආදේශ කරන්නට යෑමේ ප්‍රතිඵලයක් ලෙස නීතිය රහිත රටක් බවට අප මාතෘභූමිය වේගයෙන් පත්ව තිබෙන බව ඒ මහතා කියා සිටියේය.

එබැවින් එම ශිෂ්ටසම්පන්න උද්ඝෝෂණයට එරෙහිව එල්ල කළ අශිෂ්ට ප්‍රහාරය දැනටමත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ කළු අකුරෙන් මුද්‍රණය කර අවසන් බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ විශිෂ්ට අර්ථයන් පෙරදැරි කරගත් විවේචනයන්ට පිළිතුරු දිය යුත්තේ ද එම උතුම් මූලධර්මයන් මත පිහිටා බව ද දියලු දේශපාලකයන් ද සිවිල් සමාජය ද අළු දූලී මතින් හෝ අවබෝධ කරගත යුතු බවත් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නීතියේ ආධිපත්‍ය, මහජන ආරක්ෂාව, සමාජීය සාමය බිඳවැටී තිබෙන මේ මොහොතේ අප සියලු දෙනාම ප්‍රකෝපකාරී සහ හිංසාකාරී හැසිරීම්වලට ඉක්මන් නොවී සන්සුන්, සාමකාමි සහ අහිංසාවාදි හැසිරීම් රටාවක් පවත්වාගෙන යෑමට ශ්‍රී ලාංකේය හැඟීමෙන් පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසීය.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න