රට නව මඟකට ගැනීමේ වගකීම භාර ගන්න සූදානම් | දිනමිණ

රට නව මඟකට ගැනීමේ වගකීම භාර ගන්න සූදානම්

අනුර කුමාර දිසානායක

වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් විය යුතු බව සහ වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිමා කර ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේගය මඟින් ඉදිරිපත් කළ යෝජනාවලිය ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. මේ හමුව ඊයේ (11) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ සිටින්නේ කුඩා පිරිසක් බැවින් ඒ සඳහා අනෙකුත් පක්ෂ සහයෝගය දිය යුතු බවත් මෙහිදී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එසේ සහයෝගය දෙනවා නම් වගකීම භාර ගැනීමට සූදානම් බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා එසේ නැතිනම් කෙටි කාලයක් සඳහා පිහිටුවන අන්තර්කාලීන පාලනයක් සඳහා ජාතික ජන බලවේගය එහි පාර්ශ්වකරුවන් නොවී විපක්ෂයේ සිට රට වෙනුවෙන් සිදු කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙන බව ද කීය. පවතින අස්ථාවරභාවය තුළ රට ඉදිරියට ගෙන යා නොහැකි බව ද සඳහන් කළ අනුර කුමාර දිසානායක මහතා කැමති වුණත් අකමැති වුණත් පවතින ගැටලුවට විසඳුම් පාර්ලිමේන්තුව තුළදීම සොයාගත යුතු බව ප්‍රකාශ කළේය.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න