සුපුරුදු කුමන්ත්‍රණවලින් මිදී බහුතර එකඟත්වයෙන් අගමැති පත් කරන්න | දිනමිණ

සුපුරුදු කුමන්ත්‍රණවලින් මිදී බහුතර එකඟත්වයෙන් අගමැති පත් කරන්න

ෆියුචර් ෆෝ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති

ඉදිරියේදී පත් වන අග්‍රාමාත්‍යවරයා බහුතර පක්ෂවල සහ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් පත් විය යුතු බව ෆියුචර් ෆෝ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති රාහුල සේනානායක මහතා පවසයි.

රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මාසයකට අධික කාලයක සිට ගෝල්ෆේස් අරගලය තුළින් සහ සමස්ත රටේ වැඩ කරන ජනතාව මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ආගමික සංවිධාන සහ කණ්ඩායම්, ඇතුළු සමස්ත සමාජයම එක හඬින් කියා සිටියේ වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය සඳහා පාර්ලිමේන්තුව තුළින් සාධාරණය ඉෂ්ඨ කිරීම සඳහා අන්තර්වාර පාලනය ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පත් කර ගත යුතු බවයි.

මේ සඳහා විධායක ජනාධිපතිවරයා මූලික වශයෙන් එකඟතාවය පෙන්නුම් කිරීමට තිබුණද විශේෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පක්ෂවල කැමැත්ත සහ එකඟතාවය නොමැතිව තනි පුද්ගල චරිත නව පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයකු පත් කිරීමට දරන උත්සාහයේදී ප්‍රජාතන්ත්‍ර විරෝධී යමක් සිදු වුවහොත් සම්පූර්ණයෙන්ම මේ හා සම්බන්ධ වී සිටින සියලු බලවේග නැවත වතාවක් විරෝධතාවන්වලට සහ අසහනයට පත් වනු නොඅනුමානයි.

එ් නිසා ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා කෙසේ හෝ බහුතර පාර්ලිමේන්තු පක්ෂවල සහ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව සහිතව මිස සුපුරුදු දේශපාලන කුමන්ත්‍රණ මඟින් පමණක් සිදු නොකරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සහ නායකයන්ගෙන් අප දැඩි ලෙස ඉල්ලා සිටිනවා."

නව අදහස දක්වන්න