ආර්ථිකය කළමනාකරණයට ගත යුතු ක්‍රියාමාර්ග | දිනමිණ

ආර්ථිකය කළමනාකරණයට ගත යුතු ක්‍රියාමාර්ග

පවතින සමාජ, දේශපාලන පරිසරය තුළ ආර්ථික අභියෝග ජය ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන හා මතුව ඇති බාධකවලට මුහුණ දීමේදී aයුතු දායකත්වය ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා දැක්වු

අදහස් ඇසුරින් මේ ලිපිය සැකසිණි.

බිඳ වැටෙමින් තිබුණු ආර්ථිකය දෙසතියකින් යළි නිවැරැදි මාවතට ගත හැකිය යන අපේක්ෂාව මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා අවස්ථාවේ මා තුළ තිබිණ. ඒ සඳහා ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික බිඳ වැටීම පාලනය කිරීමට අප සමත් විය. එහෙත් අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් පසු ගිය කාලය තුළ සිදු විය. මිරිහාන සිදුවීමෙන් ඇරැඹි එම සිදුවීම් ආර්ථිකයට යහපත් තත්ත්වයක් උදා කළේ නැත. දුෂ්කර වෑයමකින් පසු ස්ථාපිත කළ ආර්ථික ප්‍රගතියේ දිශාව ගාලුමුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමෙන් පසු ඇරැඹි සිද්ධි දාමයෙන් පසු වෙනස් වන්නට පටන් ගෙන තිබේ. වුවමනා කරන යහපත් සමාජීය තත්ත්වය ස්ථාපිත කිරීමට අසමත්වන තාක් දුරට ආර්ථිකය කළමනාකරණයට ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක වන්නේ නැත. දේශපාලන නායකයන්ට මේ බව මා දන්වා ඇත.

නීතිය මත පාලනය ක්‍රියාත්මක නොවන, අස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති රටක ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟිම කළ නොහැකිය. අත්‍යවශ්‍ය දේශපාලන හා සමාජීය ස්ථාවරත්වය නැති පරිසරයක් තුළ රට ගොඩනැඟීමේ හැකියාව මහ බැංකුවට නැත. එවැනි ආරාජික තත්ත්වයක් මා අනුමත කරන්නේ නැත. පවතින ගැටලුවට විසඳුමක් සෙවිය යුත්තේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය මඟිනි. එක් එක් අය නීතිය තමන්ගේ අතට ගෙන පාලනය කිරීමෙන් කිසි දිනෙක ආර්ථික දියුණුවක් ඇති කළ හැකි නොවේ. ඒ නිසා නීතිය හා සාමය ආරක්ෂා කිරීම හා පවතින ගැටලුවට පිළිගත හැකි ස්ථාවර විසඳුමක් ඉදිරිපත් වීම අත්‍යවශ්‍යය. එය ප්‍රමාද කිරීම ජනතා අපේක්ෂාවට පිටුපෑමකි.

මේ වන විට අප අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වටයක් ආරම්භ කර තිබේ. ණය ප්‍රතිව්‍යූහගත කිරීම් කර ගෙන යයි. මූල්‍ය අරමුදල සමඟ අරඹා ඇති සාකච්ඡා සාර්ථකව ස්ථාවර ගිවිසුමකට එළඹීමට අඩු තරමින් මාස තුනක්වත් ගතවේ. ඒ සඳහා යහපත් දේශපාලන පරිසරයක් පැවතීම අත්‍යවශ්‍යය. අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහා මාස හයක පමණ කාලයක් ගතවේ යැයි අපේක්ෂා කළ හැකිය. පළමු පියවර අනුව මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක කරගෙන මුදල් සපයා ගැනීමට එම කාලය තුළ ස්ථාවර ආණ්ඩුවක් පැවතිය යුතුය.

මැතිවරණයකට යොමු වීමෙන් මෙම ක්‍රියාදාමය මාස තුනකින් හෝ හයකින් හෝ කල් දැමීමට සිදු වේ. මේ මොහොතේ ඉල්ලා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග තව දුරටත් කල් දැමිය හැකි ඒවා නොවේ. එසේ කිරීමෙන් රට තව දුටත් අසීරු තත්ත්වයට පත්වේ. ඒ නිසා අවශ්‍ය කරන ස්ථාවර ආණ්ඩුව බිහි කිරීම මැතිවරණයක් මඟින් කළ යුතු ද? නැත හොත් වෙනත් ක්‍රමයකින් කළ යුතු ද? යන්න දේශපාලන අධිකාරිය මඟින් තීරණය කළ යුතු දෙයකි. අසීරූ ආර්ථික තීරණ ගැනීම සඳහාත්, පවතින තත්ත්වය ජනතාවට ඒත්තු ගැන්වීම සඳහාත් ස්ථාවර ආණ්ඩුවත් තිබීය යුතුය. මෙය කවර ආණ්ඩුවකට වුවද පහසු අවස්ථාවක් නොවේ.

 

 

ප්‍රතිපත්තිමය එකඟතා

අන්තර්ජාතික මූල්‍ය අරමුදල සාකච්ඡා පැවැත්වීම සිදු කරන්නේ රටවල් සමඟය. එහිදී ඔවුන්ට පවතින බල හවුල කුමක් ද? යන්න වැදගත් නැත. මේ මොහොතේ අප ඔවුන් සමඟ පවත්වන සාකච්ඡා තිබෙන්නේ තාක්ෂණික මට්ටමේ එකඟතා ගැනය. එයට පවතින තත්ත්වය බාධාවක් නොවේ. මේ ක්‍රියාදාමයේ දෙවැනි පියවර ලෙස අපට ඔවුන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවලට පැමිණීමට සිදුවේ. එය මහ බැංකුවට පමණක් තනිව තීරණය කළ හැකි කරුණක් නොවේ. එහිදී අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම මහ බැංකුවට තනියම කළ හැකි තීරණයක් නොවේ.

ව්‍යවස්ථාව අනුව මුදල් පාලනය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට හා ඇමැති මණ්ඩලයටය. එම තීරණ ගැනීමට එම ආයතන ක්‍රියාත්මක විය යුතුය.

මහ බැංකුවේ නව පාලනාධිකාරිය පත් වීමෙන් පසු පොලී අනුපාතය ඉහළ දැමීම, ණය ප්‍රතිව්‍යූහගත කිරීම ඇරඹීම, ඉන්ධන හා ගෑස් මිල සංශෝධන යනාදී ක්‍රියාමාර්ග ගනු ලැබුවේය. නමුත් එම වැඩ පිළිවෙළේ අතරමඟ නැවතුණු දේ තිබේ. විදුලි මිල සංශෝධනය සිදු වූයේ නැත. විදුලිබල මණ්ඩලය විශාල වශයෙන් පාඩු ලබන ආයතනයකි. මෙය අමතරව කළ යුතු විශාලම වෙනස වන්නේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමය. 2019 වසර අවසානයේ විශාල වශයෙන් බදු අඩු කිරීම රජයේ ආදායම පහළ යෑමට බලපෑ කරුණකි. මේවා සංශෝධනය කිරීම තනතුර භාරගෙන දෙසතියකින් පමණ කළ හැකි බවට මම අදහස් කරගෙන සිටියෙමි. දේශපාලන අස්ථාවරත්වය නිසා, බදු ඉහළ දැමීම තවමත් කළ නොහැකි විය. එය ප්‍රමාද වීමෙන් ආර්ථික ස්ථායීතාව ඇති කිරීමේ වැඩපිළිවෙළ තව දුරටත් ප්‍රමාද වේ. ඒ සඳහා මුදල් ඇමැතිවරයකු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් පැවැතිය යුතුය. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක විය යුතුය. මේ ව්‍යූහ නිසි පරිදි ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමෙන් වැඩ පිළිවෙළ තව දුරටත් ප්‍රමාද වෙයි; තව දුරටත් රට අගාධයට වැටේ.

මේ ප්‍රතිසංස්කරණ කවර ආණ්ඩුවකට වුවත් ක්‍රියාත්මක කිරීමට සිදු වන ඒවාය. මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමෙන් රජයේ ආදායම තව දුරටත් අඩුවේ. රජයේ වියදම් කපා හැරිය හැකි මට්ටමක නැත. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාමික දීමනා යනාදිය ගෙවීම නැවැත්විය නොහැකිය. ඒ සඳහා මහ බැංකුවට මුදල් අච්චු ගැසීමට සිදුවේ. එහෙත් එසේ කිරීම මේ ගැටලුවට පිළියමක් නොවේ. පසුගිය කාලයේ කළ අයුරින් අවිචාරශීලී ලෙස මුදල් අච්චු ගැසීම මඟින් උද්ධමනය ඉහළ නැංවීමට මහ බැංකුව අපේක්ෂා නොකරයි. විවෘත හා පාරදෘශ්‍ය ලෙස වෙළෙඳපොළ උපකරණ හැසීරවීම මහ බැංකුවේ අදහසයි.

වර්තමානය වන විට මහ බැංකුව සතු භාවිත කළ හැකි සංචිත අවම මට්ටමක පවතී. අපනයන ලැබීම් මඟින් කිසියම් සංචිත ප්‍රමාණයක් මහ බැංකුවට සතිපතා ලැබේ. එසේ සතිපතා ලැබෙන විදේශ විනිමය අත්‍යවශ්‍ය දේ සඳහා වෙන් කෙරේ. එහෙත් සතියක් තුළ ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉදිරි සතියේ අතවශ්‍ය දේ ආනයන සඳහා ප්‍රමාණවත් නොවේ. අප අසීරූ අඩියකට මුහුණදී සිටී.

නව ක්‍රියාමාර්ග මඟින් අප බලාපොරොත්තු වන්නේ අමතර විදේශ මුදල් ප්‍රමාණයක් වෙළෙඳපොළට ගෙන්වා ගැනීම මඟින් අත්‍යවශ්‍ය දේ සැපයීමට පහසුකම් සැපයීමය.

මේ වැඩපිළිවෙළ යන අතර එය ක්‍රියාත්මක කිරීමට දේශපාලන අධිකාරියක් නොතිබීමෙන් ඇති වන ප්‍රතිඵලය වන්නේ ඉදිරියේදී විදුලි කප්පාදුව පැය දහය දක්වා දීර්ඝ කිරීමට සිදු වීම විය හැකිය. ඒ සඳහා වුවමනා කරන ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය තරම් විදේශ විනිමය නොතිබීම එයට හේතුවය.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම කරනු ලබන්නේ මහා භාණ්ඩාගාරය සතු මුදල් මඟිනි. ඒ සඳහා භාණ්ඩාගාරය ශක්තිමත් කළ යුතුය. භාණ්ඩාගාරයේ මුදල් ප්‍රමාණවත් නොවේ නම් ඉහත දැක්වූ ක්‍රම මඟින් එය ශක්තිමත් කළ යුතුය. රජයේ ආදායම අඩු නම් අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මහ බැංකුවට එය මූල්‍යනය කිරීමට සිදුවේ. මුදල් නීති පනතින් එයට බාධාවක් නැත. මුදල් අච්චු ගැසීමෙන් වන හානියට වඩා බරපතළ හානියක් රජයේ සේවකයන්ට වැටුප් ගෙවිය නොහැකි නොවීමෙන් විය හැකිය.

පසුගිය සති දෙක තුළ මහ බැංකුව පොලී අනුපාතය ස්ථාවර කිරීම වුවමනා සෑම විකල්පයක්ම ගෙන තිබේ. එයට අමතරව මහා භාණ්ඩාගාරය ඉල්ලා සිටි අත්‍යවශ්‍ය හදිසි අවශ්‍යතා සඳහා මහ බැංකුව මූල්‍යනය කර ඇත. එසේ නොවන වියදම් දැරීම කල් දමන ලෙස අප භාණ්ඩාගාරයට දැනුම්දී තිබේ. මෙයට එකඟව භාණ්ඩාගාර ලේකම්වරයා චක්‍ර ලේඛයක්ද ඉදිරිපත් කර ඇත. මෙවැනි දුෂ්කර අවස්ථාවක රජයට දැරිය හැක්කේ අත්‍යවශ්‍ය වියදම් පමණී. අවශ්‍ය කරන බදු වැඩි කර රජයේ ආදායම ඉහළ නංවා ගැනීම හා අනවශ්‍ය වියදම් කප්පාදු කිරීම භාණ්ඩාගාරයේ හා මුදල් අමත්‍යාංශයේ වගකීමකි.

විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා මහ බැංකුව යම් යම් ක්‍රියාමාර්ග ගැනීමේදී වාණිජ බැංකුවල නියෝජිතයන් සමඟද අදහස් හුවමාරු කර ගනී. අපනයනකරුවන්ට ඔවුන්ගේ අභිමතය පරිදි ගැනුම්කරුවන්ට ඉහළ මිලකට විදේශ විනිමය පැවරීමට ඇති හැකියාව පාලනයට පියවර ගෙන තිබේ. මේ ක්‍රියාමාර්ගවල අරමුණ වන්නේ විදේශ විනිමය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යෑමය.

 

 

ජනතා සහාය

මෙහිදී ජනතා සහායද අවශ්‍යය. විදේශ විනිමය ගැටලුවක් පවතින අවස්ථාවක අනවශ්‍ය දේ මිලදී ගැනීමෙන් වැලකීම මඟින් පවතින අර්බුදය ජය ගැනීමට දායක වීම ජනතාවගේද වගකීමකි. වෙළෙඳපොළ තුළ ඇති අත්‍යවශ්‍ය නොවන ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන වැනි ආනයන සීමා කර ඇති දේ මිලදී නොගැනීමට ජනතාව කල්පනා කළ යුතුය. අත්‍යවශ්‍ය නොවන වෙ‍ළෙඳ භාණ්ඩ මිලදී ගැනීම මඟින් අත්‍යවශ්‍ය දේ සඳහා වැය කිරීමට වුවමනා කරන විදේශ විනිමය ඉතිරි වේ.

මෙවැනි අසීරු අවස්ථාවක අනවශ්‍ය දේ මිල දී ගැනීමෙන් වැලකී සිටිම මඟින් ජනතාවට ආර්ථික අර්බුදය ජය ගැනිමට දායක විය හැකිය. මහ බැංකුවට මිලදී ගැනීම් සීමා කිරීමට වුවමනාවක් නැත. මෙය තාවකාලික තත්ත්වයකි. එය සාර්ථකව ජය ගැනීමෙන් පසු නැවතත් සුපුරුදු ලෙස ආනයන සඳහා ඉඩ සැලසිය හැකිය.

අපයනයනකරුවන්ටද මේ මොහොතේ විශාල වගකීමක් ඇත. අපනයනවල අගය වැඩිව ඇති නිසා, වැඩි ආදායමක් ඔවුන්ට ලැබේ. අපනයන කර්මාන්ත සඳහා බොහෝ විට විදේශ රටවලින් යෙදවුම් ආනයනය කිරීමට සිදු වේ. මේ සඳහා විදේශ විනිමය වැයවේ. ඒ නිසා අපනයන සඳහා ලැබෙන විදේශ විනිමය බැංකු පද්ධතියට සාධාරණ මුදලකට එක් කිරීමට ඔවුන් කල්පනා කළ යුතුය. එමෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකේයයන් සිය පවුල්වලට එවන මුදල් බැංකු පද්ධතිය ඔස්සේ එවන ලෙස මහ බැංකුව ඉල්ලා සිටි. වෙනත් අයථා ක්‍රම මඟින් මුදල් එවිමෙන් තමන්ගේ පවුලේ උදවියට වැඩි මුදලක් ලැබිය හැකි වුවත්, එයින් රටේ සමස්ත මිල ඉහළ යෑම වැළැක්වීමට දායකත්වයක් නොලැබේ. එහෙත් බැංකු පද්ධතිය මඟින් මුදල් එවීමෙන් අත්‍යවශ්‍ය දේ ආනයනය කිරීමට එම විදේශ විනිමය යෙදවේ.

බැංකු පද්ධතියට ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය අත්‍යවශ්‍ය ආනයන සඳහා පමණක් දීමේ වගකීම බැංකුවලටද ඇත. ඒවා යෙදවෙන ආකාරය ගැන මහ බැංකුවද නියාමනයක යෙදේ. ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ වගකීමක් බංකුකරුවන්ට, ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ටද තිබේ.

වෙළෙඳපොළ අනුව ඉන්ධන මිල සංශෝධනය නිරන්තරයෙන් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා අයථා ක්‍රම මඟින් සිදු වන විදේශ විනිමය ගනුදෙනු පාලනය අත්‍යවශ්‍යය. මේ මඟින් සිදු වන ගනුදෙනු පාලනය කිරීමෙන් සෑහෙන දුරකට මිල මට්ටම් ඉහළ යෑම පාලනය කළ හැකිය. මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග දිගින් දිගටම ගන්නේ ඒ අරමුණ වෙනුවෙනි.

 

චන්දන ජයවීර

නව අදහස දක්වන්න