වැඩ පෙන්වීමට කාලයක් දෙමු | දිනමිණ

වැඩ පෙන්වීමට කාලයක් දෙමු

ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් නව අගමැතිවරයාට කෘතඥතාව පළ කරන්නට කැමැත්තෙමු. පළමුවැන්න: අතිශය අභියෝගාත්මක අවස්ථාවක අගමැති පදවිය භාර ගනිමින් ජනතාවගේ දුක - වේදනාව හා නොසන්සුන්තා තුනී කිරීමට ඉදිරිපත් වීමය. එය පැසසිය යුතු කාරණයකි. දෙවැන්න: අන්තර්ජාතික මාධ්‍ය ඉදිරියේ අපට රට ගොඩනැඟීම සඳහා වැඩපිළිවෙළක් ඇතැයි විශ්වාසය තහවුරු කිරීමය. තෙවැන්න: උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් දක්වමින් ඔවුන්ට ඇහුම්කන් දීමට සූදානම් බවට ප්‍රතිචාර දැක්වීමය. මේ සාධක තුනම සුබවාදී බව කිව යුතුය. රට ගොඩනැඟීමේ මූලික පදනම මේ ඔස්සේ ඇති කර ගත හැකි යැයි විශ්වාස කළ හැකිය.

අගමැති පදවිය භාර ගනිමින් පාර්ලිමේන්තුවේ නායකත්වය දැරීම සඳහා පක්ෂ නායකයන් වෙත විවෘත ඇරියුමක් තිබිණි. කිසිවකු එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බවක් හෝ අභියෝගය භාර ගත් බවක් හෝ පෙනෙන්නට තිබුණේ් නැත. ජනාධිපතිවරයා පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළ ද කිසිදු නායකයකු අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැත. බොරු විවේචන ඉදිරිපත් කරමින් ද කොන්දේසි පනවමින් ද පක්ෂ නායකයෝ මඟහැර ගියහ. මෙය අවාසනාවන්ත හා පසුගාමී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. මේ මොහොතේ ආණ්ඩුව භාර ගැනීමට හා එහි නායකත්වය දැරීමට ශක්තිමත් කශේරුකාවක් හා ඉදිරි වැඩපිළිවෙළක් ද තිබිය යුතුය. ඒ දෙකම රනිල් වික්‍රමසිංහ මහතාට ඇති බව පෙනෙයි.

මේ මොහොත වන විට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන, ව්‍යවස්ථාව ගැන හා විපක්ෂ නායක පදවිය ගැන ද විවිධ සංවාද අසන්න දකින්න ලැබේ. මහජන මතය ගැන ද අගමැතිවරයාගේ අතීතය ගැන ද විවිධ සංවාද මතු වන බව පෙනෙයි. එහෙත් අප පවතින යථාර්ථයට මුහුණ දිය යුතුය. ඊට අනුව පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහ අතුරින් සුදුසුම රාජ්‍යතාන්ත්‍රිකයා අගමැතිවරයා ලෙස පත් කළ යුතුය. මේ පත් වීම අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති අතර, අමෙරිකාව හා ඉන්දියාව මේ වන විටත් සුබවාදී ප්‍රතිචාර දක්වා ඇත. අපගේ ප්‍රධාන ගැටලුව ආර්ථික අර්බුදය වන අතර, අන්තර්ජාතික සහයෝගයකින් තොරව එය විසඳා ගත නොහැකිය. එම යථාර්ථයට අනුව බැලුව හොත් අගමැති පදවියට සුදුසුම තැනැත්තා පත් කර තිබේ.

සියලු දෙනාම සතුටු කිරීමට නම්, අයිස්ක්‍රීම් දිය යුතු යැයි ජන වහරේ කතාවක් තිබේ. අද වන විට එයද ගැලපෙන්නේ නැත. මන්ද කිව හොත් රටෙන් භාගයක් පමණ මේ වන විට දියවැඩියාකාරයන් බැවිනි. දියවැඩියාකාරයා අයිස්ක්‍රීම්වලට කෙළ හලන්නේ වුව එය ප්‍රතික්ෂේප කරයි. අගමැතිවරයාගේ පත් වීම ගැන ද විවිධ චෝදනා හා විවේචන එල්ල වන්න පටන්ගෙන තිබේ. ඒවායින් බොහොමයක් තම තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුව ඉදිරිපත් වන අතර, රටට අවශ්‍ය න්‍යාය පත්‍රයට අදාළ නැත. එබැවින් විවේචන හා චෝදනා නොසලකා හැර වැඩට බැසීම ඉතා වැදගත්ය. සමහරුන් උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ ප්‍රජාව කුලප්පු කිරීමට උත්සුක වන බවක් ද පෙනෙයි. එහෙත් එය පහසු නැත. නූතන පරම්පරාව දැනුම්වත්භාවයකින් යුතුව ලෝකය දෙස බලයි.

උද්ඝෝෂණයේ යෙදෙන තරුණ පරපුරට ද කරුණු දෙකක් සිහිපත් කළ යුතුව තිබේ. පළමු කාරණය වන්නේ ඔවුන්ගේ විරෝධතාවල ප්‍රතිඵල සෙමෙන් වුව ලැබෙමින් පවතින බවය. දැන් සිදුවන දේශපාලන වෙනසට පාදක වූයේ තරුණ විරෝධතා බව අප පිළිගත යුතුය. දෙවන කාරණය වන්නේ රට අරාජිකත්වයට යා නොදී ඔවුන්ගේ ඉලක්ක ජය ගත යුතු බවය. ඇතැම් විට එක් පියවරක් පසුපසට ගැනීම ද තවත් විටෙක පියවර දෙකක් ඉදිරියට තැබීම ද උපායමාර්ගිකව සාර්ථක ක්‍රමවේදයකි. මේ මොහොතේ නව අගමැතිවරයාට ද, නව කැබිනට් මණ්ඩලයට ද යම් කාලයක් දීම සුදුසු වෙයි. වික්‍රමසිංහ මහතා තරුණ පරම්පරාවේ තේරීම නොවන්නට පුළුවන. එහෙත් තරුණ පරම්පරාවේ මාර්ග සිතියමට අවශ්‍ය පසුතලය ඔහු ලවා සකස් කරවා ගත හැකිය.

වික්‍රමසිංහ මහතා අගමැති පදවිය දරන හය වන අවස්ථාව මෙය වෙයි. ඔහු දේශපාලන අත්දැකීම් බහුල පරිණත දේශපාලකයකු ලෙස හැඳින්වීම නිවැරැදිය. නූතන පාර්ලිමේන්තුවේ සිටින පරිණතම රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස ද ඔහු නම් කළ හැකිය. රනිල් වික්‍රමසිංහ යනු ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි පිළිගත් රාජ්‍යතාන්ත්‍රිකයෙකි. අපේ කලාපය තුළ පමණක් නොව, අමෙරිකාව හා යුරෝපය තුළ ද ඔහුට පිළිගැනීමක් තිබේ. වික්‍රමසිංහ මහතා නව ලිබරල් ආර්ථිකය ගැන ද, එම ආර්ථිකය යටතේ තරුණ පරම්පරාවේ සිතුම් පැතුම් ගැන ද හොඳ වැටහීමකින් කටයුතු කරන නායකයකු හැටියට බොහෝ දෙනා පිළිගනිති. මේ යුගයට අවශ්‍ය වන්නේ ද එබඳු නායකයන් බව කිව යුතුය. අවශ්‍ය කාලයට අවශ්‍ය නායකයන් පහළ වන්නේ යැයි කතාවක් තිබේ.

කුමක් වුව නව අගමැතිවරයා හමුවේ ඇති අභියෝගය ඉතා බරපතළය. තව අතකින් ඉතා සංකීර්ණය. ඔහු පළමුව ජනතාවගේ මූලික අවශ්‍යතා සපිරීමට සමත් විය යුතුය. දෙවනුව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයාට සහයෝගය දැක්විය යුතුය. අවසන් ලෙස ඔහු ජනතා විශ්වාසය ද ගොඩනඟා ගත යුතුය.

නව අදහස දක්වන්න