ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් සටන හෙට ඇරඹේ | දිනමිණ

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් සටන හෙට ඇරඹේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (15) චිතගොංහි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මේ තරගාවලිය අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් බැවින් එහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යෑමට තරගාවලි ජයග්‍රහණය දෙපිලටම තීරණාත්මක වී තිබේ.

මේ ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව 5 වැනි තැන (50%) සිටින්නේ තරග 4කින් දෙකක් ජය ගනිමිනි. බංග්ලාදේශය තරග 6කින් එකක් ජය ගෙන (16.66%) 8 වැනි තැන සිටී.

තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුව හොත් තෙවැනි ස්ථාන දක්වා ඉහළට යෑමට හැකි වන අතර, බංග්ලාදේශය 2-0ක ජයක් වාර්තා කළ හොත් ඔවුන්ට ස්ථාන 2ක් ඉදිරියට යෑමට අවස්ථාව හිමි වේ.

අයිසීසී ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 7 (77) සහ බංග්ලාදේශය (56) 9 වැනි ස්ථානවල පසු වන අතර, කුමන කණ්ඩායම තරග 2-0ක් බැගින් ජය ගත්ත ද ඉදිරියට යෑමට අවස්ථාවක් හිමි නොවේ. එහෙත් බංග්ලාදේශය ජය ගත හොත් ශ්‍රී ලංකාවට එක් ස්ථානයක් පහත වැටීමට සිදු වනු ඇත.

මෙතෙක් දෙරට අතර, පවත්වා ඇති තරගාවලි 10න් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත්තේ එක් තරගාවලියක් පමණි. සෙසු තරගාවලිය සියල්ල ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වීම විශේෂත්වයකි. තරග ලෙස ගත් විට දෙපිල අතර තරග 22න් 17ක ජය ශ්‍රී ලංකාවටත් බංග්ලාදේශය එක් ජයකුත් හිමිව තිබේ. තරග 4ක් නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

එබැවින් මේ තරගාවලියේදීත් වැඩි වාසි ශ්‍රී ලංකාව සතුව තිබුණද බංග්ලාදේශ කණ්ඩායම අද තරග බිමට පිවිසෙන්නේ පළමු වරට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අරමුණිනි.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් අද තරගයට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෙෂ්ඨ මෙන්ම ආධුනික ක්‍රීඩකයන්ගෙන් සමන්විත වී තිබේ.

කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන් සහ ඩිල්ෂාන් මදුෂංක තවමත් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැති ක්‍රීඩකයන් ලෙස සංචිතයට එක්ව සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් එක් වූ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සහ සහාය පුහුණුකරු නවීඩ් නවාස්ගේ පළමු තරගාවලිය ද මෙයයි.

බංග්ලාදේශ කණ්ඩායම පසුගිය කාල සීමාවේදී ඔවුන් සිය රටේදී ඕනෑම ආකාරයේ තරගාවලියකදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව තිබීම ශ්‍රී ලංකා පිලට අහියෝගයක් වනු ඇත.

එහෙත් ඔවුන්ට ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කිහිපදෙනකු අහිමි වීමෙන් අවදානම් තත්ත්වයක් උදා වී තිබේ. තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට කොරෝනා වැලඳීම නිසා හුදෙකලා වී සිටින අතර, මෙහෙදි හසන් සහ ටස්කින් අහමඩ් ආබාධවලට ලක්ව තිබේ. වේග පන්දු යවන්නකු වන ශොරිෆුල් ඉස්ලාම් සංචිතයට ඇතුළත්ව සිටියත් ඔහුගේ එක් වීම තීරණය වන්නේ තරගය පෙර සිදු කරන යෝග්‍යතා පරීක්ෂණයෙනි.

කෙසේ වෙතත් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගෙන් දැඩි අභියෝගයක් එල්ල විය හැකිය. ඊට හේතු වී ඇත්තේ බංග්ලාදේශ දඟ පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නකු වන රංගන හේරත් කටයුතු කිරීමය. කෙසේ වෙතත් ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට ඔවුන්ගේ ප්‍රධාන දඟ පන්දු යවන්නකු වන මෙහෙදි හසන් අහිමි වීම විශාල පාඩුවක් වී තිබේ.

මේ තරගය පැවැත්වෙන සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගණය පිතිකරුවන්ට වැඩි සහයෝගයක් දක්වයි. මේ පිටියේ ඉහළම ලකුණු රැස් කිරීමේවාර්තාව ශ්‍රී ලංකාව සතුව ඇති අතර, ඒ 2018 වසරේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 713යි. එම තරගයේදී විශිෂ්ට ශතක 2ක් රැස් කළ කුසල් මෙන්ඩිස් (196) සහ ධනංජය ද සිල්වා (173) අද තරගයටත් එක්ව සිටිති.

එම තරගයේ ඉනිම දෙකේදීම ශතක දෙකක් රැස් කළ මොමිනුල් හක් අද තරගයේදී බංග්ලාදේශ පිලට නායකත්වය දෙයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුෂංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය.

පළමු තරගය සඳහා බංග්ලාදේශ සංචිතය - මොමිනුල් හක් (නායක), ටමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, ශකීබ් අල් හසන්, ලිටොන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, මෙහෙදි හසන් මිර්සා, එබදත් හුසේන්, කලීඩ් අහමද්, නුරුල් හසන්, රෙජුරු රහ්මාන් රාජා, ෂොහිදුල් ඉස්ලාම්, ශොරිෆුල් ඉස්ලාම් (යෝග්‍යතාව මත).

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න