රග්බි පරිපාලනය අත්හිටුවීමේ ගැසට්ටුවට අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් | දිනමිණ

රග්බි පරිපාලනය අත්හිටුවීමේ ගැසට්ටුවට අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක්

ශ්‍රී ලංකා රග්බි ආයතනය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (13) අතුරු නියෝගයක් නිකුත් කළේය.

එම අතුරු නියෝගය ලබන ජුනි මස 30 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මේ අතුරු නියෝගය නිකුත් කරන ලදි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවිණි.

එහිදී පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ අතුරු නියෝගය නිකුත් කරන ලදි. ශ්‍රී ලංකා රග්බි සංගමය සහ එහි සභාපති රිස්ලි ඉල්යාස් විසින් මේ පෙත්සම් ගොනු කර තිබිණි.

ක්‍රීඩා සහ තරුණ කටයුතු හිටපු ඇමැතිවරුන් වන නාමල් රාජපක්ෂ සහ තේනුක විදානගමගේ, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය ඇතුළු හත් දෙනෙක් මෙහි වගඋත්තර කරුවෝ වෙති.

ශ්‍රී ලංකා රග්බි සංගමය රග්බි ක්‍රීඩාවේ පරිපාලන කටයුතු භාරව ක්‍රියා කරන බව පෙත්සමෙහි සඳහන් වේ.

බස්නාහිර පළාතේ රග්බි සංගමය සිය වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම නිසා එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස එවකට ක්‍රීඩා ඇමැතිවරයා 2019 වසරේ දී ශ්‍රී ලංකා රග්බි සංගමයට උපදෙස් දුන් බව පෙත්සමෙහි සඳහන් වේ.

එම වසරේදීම එම මුදල් සියල්ල ගෙවූ බස්නාහිර පළාත් රග්බි සංගමය එම රිසිට් පත් සියල්ල ඉදිරිපත් කළ අතර එම කරුණු ක්‍රීඩා ඇම­ැතිවරයාට ද ඉදිරිපත් කළ බව පෙත්සමෙහි දැක්වේ.

එම හේතුව නිසා බස්නාහිර පළාත් රග්බි සංගමය අත්හිටුවීමට පියවර නොගත් බව පෙත්සමෙහි සඳහන් වේ.

එසේ තිබියදී 2022 පෙබරවාරි 23 වැනිදා ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ලිපියක් යවමින් දන්වා ඇත්තේ මෙකී කරුණු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ය.

එහෙත් නීතිපති උපදෙස් ගැනීමකින් තොරව ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා රග්බි සංගමයේ බලපත්‍රය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර අප්‍රේල් මස 01 වැනිදා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවද සඳහන් වේ.

හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ සොහොයුරු යෝෂිත රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා රග්බි සංගමයේ පරිපාලන කටයුතු පැවරීම ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවීමේ තීරණයට හේතුව බව මාධ්‍ය මඟින් වාර්තා වූ බවද පෙත්සමෙහි සඳහන් වේ.

ක්‍රීඩා ඇමතිවරයාගේ මේ තීරණය ක්‍රීඩා පනතට පටහැනි වන අතර නීති විරෝධී බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

එබැවින් එම ගැසට් නිවේදනය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත. ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා සහ නීතීඥ කීර්ති තිලකරත්න මහතා පෙත්සම වෙනුවෙන් පෙනී සිටියහ.

නෙල්කා මැදගෙදර

නව අදහස දක්වන්න