මම වනිඳු හසරංග අභියෝගවලට කැමැතියි | දිනමිණ

මම වනිඳු හසරංග අභියෝගවලට කැමැතියි

තරග බිමේ පීඩන තත්ත්වයන්ට මුහුණ දෙමින් අභියෝගවලට භාර ගැනීමට තමා කැමැත්නෙත් පසු වන බව මෙවර අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ කඩුලු ලාභීන් අතර දෙවැනි තැන පසු වන වනිඳු හසරංග පවසයි.

“මම අභියෝග භාර ගැනීමට කැමතියි, එවිට මට පීඩන තත්ත්වයන් හැසිරවීමට ඉතා පහසුයි” හසරංග කියයි.

තරගාවලියේ කඩුලු ලාභීන් අතර ඉදිරියට ඒමට හැකි වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් “මේ තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා මම වීම ගැන ඇත්තටම සතුටුයි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යනු හොඳම කණ්ඩායම්වලින් එකක්. ක්‍රීඩකයන් මිත්‍රශීලියි. අප එකම පවුලක් විදියට හැමදාම වැඩ කරනවා. ප්‍රධාන පුහුණුකරු සහ මුළු කාර්ය මණ්ඩලයම මගේ පන්දු යැවීමට සහ මට සහයෝගය දෙනවා” හසරංග පවසයි.

හසරංගගේ විශිෂ්ට දස්කම් සහ පන්දු යැවීමේ දියුණුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් බැංගලෝර් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ශ්‍රීධරන් ශ්‍රීරාම් පැවසුවේ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් යම් යම් තාක්ෂණික වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති බවයි.

විශේෂයෙන්ම හසරංග පන්දු යැවීමට දිව යෑමේ ක්‍රමවේදයේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ බව ඔහු පෙන්වා දෙනවා.

“ඔහුගේ ධාවනය ඉතා ඉහළ සහ පහළ මට්ටමක පැවතියා, එබැවින් අප ඔහුගේ ධාවනය ස්ථාවර කළා, ඔහුගේ වේගය දැන් බොහෝ දුරට සමානයි. ඔහු වේගයෙන්, සෙමෙන් දුවන්නට පුරුදුව මිශ්‍ර රටාවක් තිබුණත් දුවන වේගය, දුවන කෝණ, ඔහු පන්දුව මුදාහරින තැන සිට අප තවමත් අත්හදා බලමින් ඔහුව හොඳ කර ගැනීමට උත්සාහ කරනවා. ඉතින් මම හිතන්නෙ පොඩි පොඩි තැන් තියෙනවා. දවස අවසානයේදී ඔවුන් ප්‍රතිඵල පෙන්වනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.

වමත් පිතිකරුවන්ට එරෙහිව හසරංග යොදා ගන්නා උපක්‍රම ද මෙවර තරග වාරය ආරම්භයට වඩා මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත්, තරග වාරය ආරම්භ වූ අවස්ථාවට වඩා මේ වන විට ඔහු වමත් පිතිකරුවන්ට එරෙහිව වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවත් ශ්‍රීරාම් පෙන්වා දෙයි. මෙවර තරගාවලියේ තරග 59ක් නිමා වන විට යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 23ක් දවා ගනිමින් කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසු වෙද්දී හසරංග දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 21කි.

 

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න