සැප රියෙන් ගොස් හොර සුරා බෙදූ අයෙක් බදුල්ලේදී කොටු | දිනමිණ

සැප රියෙන් ගොස් හොර සුරා බෙදූ අයෙක් බදුල්ලේදී කොටු

 මීගහකිවුල, කන්දකැටිය, කැටවත්ත, කරමැටිය, බලගොල්ල ආදී ප්‍රදේශ රැසක් වෙත සුඛෝපභෝගී මෝටර් රථයකින් ගොස් රජයේ අරක්කු නීති විරෝධී අන්දමින් අලෙවි කරන ලද පුද්ගලයකු ඔහු සතුව තිබූ අරක්කු තොගයක් ද සමඟ පෙරේදා (12) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකි.

සුඛෝපභෝගී මෝටර් රථයකින් තැන තැන ගොස් රජයේ අරක්කු නීති විරෝධී ලෙස අලෙවි කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ඔහුගේ මෝටර් රථයේ පසු පස සහ ඩිකියේ අලවියෙන් පසුව ඉතිරිව තිබූ රජයේ අනුමත අරක්කු බෝතල් 15ක් සහ කාලේ බෝතල් හතක් හමු වූ බව පොලිසිය පවසයි.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

 

මීගහකිවුල සමූහ එන්. නවරත්න

නව අදහස දක්වන්න