නිශ්චිත-පැහැදිලි ප්‍රතිපත්ති ඇති රනිල් වික්‍රමසිංහ | දිනමිණ

නිශ්චිත-පැහැදිලි ප්‍රතිපත්ති ඇති රනිල් වික්‍රමසිංහ

රට යළි ආර්ථික අතින් සුරක්ෂිත කිරීමේ වගකීම ඇතිව නව ආණ්ඩුවක් පිහිටුවීමේ අභියෝගය භාර ගැනීමට පාර්ලිමේන්තුවේ විපක්ෂය පසුබට වෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක් විය.

රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ මහතා යළි ආර්ථිකය ගොඩනඟා රටේ අනාගතය සුරක්ෂිත කළේය. 2001 වසරේ රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී ශ්‍රී ලංකාව හුදෙකලා වූ රටක් බවට පත්ව තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්ව ඒ තත්ත්වය වෙනස් කරමින් රටේ ආර්ථිකය ගොඩනැඟීය.

2015 දී ආර්ථිකය දියුණු කර ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය. වර්තමානය වන විට රට මුහුණපා තිබෙන අර්බුද රැසකි. මේ අර්බුදවලින් රට මුදාගත හැකි වගකීම ඔහු භාර ගන්නේ පැහැදිලි දර්ශනයක් සහිත වගකීම් සහගත ආර්ථික සැලැස්මක් සමඟිනි.

1977දී තරුණ මන්ත්‍රීවරයකු වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ විදේශ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසත්, අධ්‍යාපන, තරුණ කටයුතු සහ කර්මාන්ත කැබිනට් ඇමැතිවරයා ලෙසත් ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යුගවල කටයුතු කළේය. අධ්‍යාපන ඇමැතිවරයා ලෙස මහරගම ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපන කොමිසම පිහිටුවීමත්, ගුරුවරුන් බිහි කරන අධ්‍යාපන පීඨ ආරම්භ කිරීමත් සිදු කළේය. ඉංග්‍රිසී ගුරුවරුන්ට ඩෙලික් ගුරු පුහුණුව දීමට කටයුතු කළේය. කර්මාන්ත ඇමැතිවරයා ලෙස කාර්මික පනත ගෙන එමින් කර්මාන්ත කොමිසම පත් කිරීම සහ කර්මාන්ත ශාලාවලට පස් අවුරුදු බදු සහන දීම සිදු කළේය. තරුණ කටයුතු ඇමැතිවරයා ලෙස තරුණ ප්‍රජාවට දැනටත් අනුපමේය සේවයක් සිදු කරන ජාතික තරුණ සේවා සභාව පිහිටුවූවේ ද රනිල්ය. එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානය සහ ශිෂ්‍ය සංවිධානයේ වගකීම් දැරුවේ ද රනිල්ය.

රනිල් වික්‍රමසිංහ මහතා 1993දී පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වුවත් එය කෙටි කලකට විය. 1994දී පක්ෂ නායකත්වයට පත් වී 1999දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වුවත් 2001දී පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර දෙවන වරට අගමැති ධුරයට පත් විය. ඒ් වන විට ඒල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාර හමුවේ රටේ ආර්ථිකය අඩපණ වී තිබිණි. එල්ටීටීඊ සංවිධානය සමඟ සාම ගිවිසුමකට එළැඹ නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ආරම්භ කරමින් එවකට සෘණ අගයක් පැවති ආර්ථික වර්ධන වේගය 2005 වන විට සියයට 5ක් දක්වා ඉහළට ගෙන ඒ්මට රනිල් වික්‍රමසිංහ මහතා සමත් විය. එහෙත් 2004 මහ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ආපසු ගෙදර යවන්න ජනතාව කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට පත් ඔහු 2005 ජනාධිපතිවරණයෙන් ද පරාජයට පත් විය. 2015 පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමත්‍යවරයා වශයෙන් පත් කළේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 40ක් පමණක් හිමි කරගෙන සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ් වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ වික්‍රමසිංහ නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ සිව් වැනි වතාවටය. 2018 ඔක්තෝ­්බර් මස සිදු වූ ආණ්ඩුක්‍රම කුමන්ත්‍රණය හමුවේ දින 52කට බලය අහිමි වුවත් අධිකරණ නියෝගයක් අනුව නැවතත් අගමැති ධුරයට පත් වීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි විය. 2020 පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට පත් වී හිමි වුයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණි. එයින් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ දරුණු ආර්ථික ආගාධයකට පත්ව තිබූ රට යළි ගොඩගැනීමේ භාරධූර වගකීම භාර ගැනීමට ප්‍රධාන විපක්ෂය ඇතුළු විපක්ෂයේ නායකයන් නොයෙකුත් කොන්දේසි ඉදිරිපත් කරමින් පසුබට වෙද්දී අභියෝග භාර ගෙන ජයග්‍රහණය කර පළපුරුද්දක් ඇති වික්‍රමසිංහ අරාජික වූ රට නැවතත් ස්ථාවර කිරීමට අගමැති ධුරය භාර ගැනීමට ජනාධිපතිවරයාට කැමැත්ත පළ කළේය.

කොවිඩ් වසංගතයට රට මුහුණ දෙමින් සිටියදී විපක්ෂයේ සිටිමින් එයින් ගොඩ ඒ්මට රනිල් සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළේය. එම අදහස් සහ යෝජනා ආණ්ඩුව පිළිගත්තේ නම් රටට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. රට ආර්ථික අර්බුදයකට ලක් වූ පසුවත් ඒ් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට ඉදිරිපත් කළේ රට දෙවරක්ම ආර්ථික අර්බුදවලින් ගොඩගෙන ලබා තිබූ අත්දැකීම් ඔස්සේය. ආණ්ඩුව අයි.එම්.එෆ්. වෙත යා යුතු බව ඔහු ප්‍රකාශ කළේ මීට වසර එක හමාරකට පෙරය. රටේ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනසකට ලක් කර නව ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත්, ඒ් සඳහා තරුණ දායකත්වය ගත යුතු බවත් වික්‍රමසිංහගේ ආකල්පයයි. මූල්‍ය බලය පාර්ලිමේන්තුවට ගෙන එය පාලනය කිරීමට කොමිටි පත් කර ඒ් සඳහා ගෝල්ෆේස් අරගලයේ යෙදෙන තරුණ තරුණියන්ගේ දායකත්වය ගත යුතු බවත් ඔහුගේ අදහසයි. ආණ්ඩු මාරු වුණත් වෙනස් නොවන ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාලීන අවශ්‍යතාව ඔහු වටහාගෙන තිබේ. ආණ්ඩුවක් භාරගෙන නිවැරදි දැක්මක් සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ රට ගොඩගැනීම ඔහුගේ අරමුණයි.

රට ආර්ථික වශයෙන් සුරක්ෂිත කර තරුණ පරපුරේ හෙට දවස ගොඩනඟාදීමට නිශ්චිත වූත්, පැහැදිලි වූත් වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තියක් රනිල් වික්‍රමසිංහ මහතා සතුව ඇති බව පෙනේ. ඒ වැඩපිළිවෙළ ඔස්සේ තරුණ පරපුරේ ගැටලු විසඳා දී ඔවුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කරදීම නව අගමැතිවරයාගේ වගකීමයි.

හය වැනි වතාවටත් අගමැති ධුරයට පත් වික්‍රමසිංහ මහතාට සිය අත්දැකීම් සහ අන්තර්ජාතික සබඳතා යොදා ගනිමින් රටේ පවතින ආර්ථික අර්බුදය විසඳාගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

 

සටහන - ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න