අසීරු මොහොතේ මහජන නියෝජිතයන් රට වැසියා වෙනුවෙන් වැඩ කළ යුතුයි | දිනමිණ

අසීරු මොහොතේ මහජන නියෝජිතයන් රට වැසියා වෙනුවෙන් වැඩ කළ යුතුයි

වෙසක් දින පණිවිඩයෙන් ජනපති කියයි

රට අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ සියලු රටවැසියන් වෙනුවෙන් මහජන නියෝජිතයන් සියලු දෙනා එක්ව විසඳුමක් උදෙසා වහ වහා කටයුතු කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එහිදී ඒකායන අභිප්‍රාය විය යුත්තේ මූලික අරමුණින් බැහැර නොවී අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා වීම යැයි ජනාධිපතිවරයා එම පණිවිඩයේ සඳහන් කර තිබේ. පවතින තත්ත්වය සිහි නුවනින් දැක සියලු දෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙළක් වටා එක් විය යුතුය. ඒ බෞද්ධ පිළිවෙතය. ඒ සඳහා ලිච්ඡවී සංකල්පය වඩාත් උචිත වන පරිදි යොදා ගනිමින් අර්බුද සමනය කිරීමට එක් වන්නැයි මේ උතුම් වෙසඟ දිනයේ දී තමන් ඔබගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.

ප්‍රතිපත්ති මුල් කරගෙන, වීර්යාධික සම්මුතිවාදී ධර්ම ගරුක සමාජයක් ගොඩනැගීම සියලු දෙනාගේ ඒකායන අරමුණ වේවා යි උතුම් වෙසක් පුන් පොහෝ දින ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා එහි සඳහන් වේ.

වෙසක් දින පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

“අසිරිමත් සම්බුදු තෙමඟුල සිදු වූ උතුම් වෙසක් මංගල්‍යය සිහිකර, ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සිත් පහන් කරවන පුණ්‍ය කටයුතුවල යෙදෙති.

“භාග්‍යවතුන් වහන්සේ සකල සත වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කළ දහම වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පවතින්නකි. සම්බුද්ධත්වය උදෙසා බෝධිසත්වයෝ ආත්ම භාව කල්ප ගණනක් පෙරුම් පිරූහ. එය ආමිස සහ ප්‍රතිපත්ති පූජාදියෙන් පරිපූර්ණය. දස පාරමී ගුණයන්ගෙන් සුපෝෂිතය. ඒ සියලු සත්වයෝ සසර දුකින් මුදා ගැනීම පිණිසය.

“සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ලැබූවෝ අපිරිමිත සම්බුදු ගුණ මෙනෙහි කරනුයේ අචල ශ්‍රද්ධාවෙන් යුතුවය. අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය පිළිබඳ කරුණු බෞද්ධ සාහිත්‍යයේත් බුද්ධ චරිතය පුරාත් අපට සුලබව හමු වේ. එකී දහමට අනුව වීර්යාධික වූවෝ ගැඹුරින් විමසා කල්යල් බලා තීරණවලට එළඹ වඩාත් උචිත විසඳුම් ලබා දුන් අවස්ථා බෞද්ධ අපට ආගන්තුක නොවේ.

“තං ච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති

යස්ස පතීතො සුමනො - විපාකං පටිසෙවති

“යම් ක්‍රියාවක් කොට පසුතැවිල්ලට පත් නොවේ ද, යම් ක්‍රියාවකගේ විපාකය ප්‍රීතියෙන් හා සතුටෙන් යුක්තව විඳින්නේ ද, ඒ ක්‍රියාව කළ සැටි යෙහෙකි” යනුවෙන් ධර්මයේ සඳහන් වෙයි.එබැවින් අසීරු අවස්ථාවන්හිදී වීර්යාධික විය යුතුය.

නව අදහස දක්වන්න