අගමැති රනිල්ට විදෙස් සුබ පැතුම් එක්ව වැඩ කරන්නත් කැමැත්ත | දිනමිණ

අගමැති රනිල්ට විදෙස් සුබ පැතුම් එක්ව වැඩ කරන්නත් කැමැත්ත

නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විදෙස් රටවල් රැසකින් සුබ පැතුම් හිමිව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව ඒ ඒ රටවල් සමඟ පවත්නා සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බව ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව පෙන්වා දී ඇත. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලී චංග් මහත්මිය පෙන්වා දෙන්නේ, නව අගමැතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසු වන බවයි. සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම ඔහුගේ පළමු පියවර වෙතැයි අපේක්ෂා කරන අමෙරිකානු තානාපතිනිය, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සිදුවන ගනුදෙනු යථාවාදී ලෙස සිදු කර ශ්‍රීලාංකිකයන් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාසය පළ කර සිටී.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද අගමැතිවරයාට සුබ පැතුම් එක් කර තිබේ. ඉන්දියානු මහ කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, සිය රට ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය බලාපොරොත්තු වන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකින් පත් වූ නව අගමැතිවරයා සමඟ ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැප වීම ඉදිරියටත් පවතින බවද හෙතෙම පෙන්වා දී තිබේ.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න