සජිත්ගේ දේශපාලනයෙන් රටට වැඩක් නැහැ - අනුර කුමාර දිසානායක | දිනමිණ

සජිත්ගේ දේශපාලනයෙන් රටට වැඩක් නැහැ - අනුර කුමාර දිසානායක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අපරිණත දේශපාලනය තුළින් රටේ පවතින ගැටලුකාරී තත්ත්වයට මුහුණ දීමට හැකි වෙතැයි තමා නොසිතන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කෙළේ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනය පිළිබඳව කතා කිරීමෙන් පළක් නොවන බව ද මෙහිදී පැවසූ අනුර කුමාර දිසානායක මහතා, මනමාලි තෝරාගෙන නැකත් බලා පෝරුවේ චාරිත්‍ර කරන විට තමා කැමති බවට මනමාලිට ලියුමක් යැවීම වැනි කටයුතු ඔහු සිදු කරන බවත් ප්‍රකාශ කළේය.

පවතින දේශපාලන වාතාවරණය යටතේ මුදලට විකිණෙන මන්ත්‍රී කඳන් සමඟ ජනතා විමුක්ති පෙරමුණට එක් විය නොහැකි බව ද මෙහි දී පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සෑම අවස්ථාවකම මේ වන විට රටේ පවතින පාදඩ දේශපාලනයට එරෙහිව කටයුතු කරන බවද සඳහන් කළේය.

රාජපක්ෂලා සහ රනිල්ලා එකට ඔතා ඉවත් කළ යුතු බව ද මෙහිදී පැවසූ අනුර කුමාර දිසානායක මහතා වත්මන් පාර්ලිමේන්තුව රටේ ජනතාවගේ අදහස පිළිබිඹු නොකරන තැනක් බවත් රට ඉදිරියට ගෙන යෑම සඳහා ඉදිරිපත්වූ මහානායක හිමිවරුන්ගේ, විද්වතුන්ගේ, ජනතාවගේ අදහස් සහ යෝජනා සමඟ වත්මන් ආණ්ඩුව සෙල්ලම් කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

ජීවන බර උසුලාගත නොහැකි ජනතාව රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යා යුතු බව මේ අවස්ථාවේ පවසන බවද සඳහන් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ජනතා හඬට කන් නොදී ගත් තීරණයක් ලෙස, අගමැති තනතුරට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුව හැදින්විය හැකි යැයිද සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න