භාණ්ඩ හා සේවා හිඟය අවසන් කර ජනතාවට සහන දෙන්න අගමැතිගෙන් කමිටුවක් | දිනමිණ

භාණ්ඩ හා සේවා හිඟය අවසන් කර ජනතාවට සහන දෙන්න අගමැතිගෙන් කමිටුවක්

 

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් අවසන් කර ජනතා සහන සැලසීම සඳහා යෝජනා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීම සඳහා ඊට අදාළ සියලු අංශ සමඟ සාකච්ඡා කර යෝජනා ගැනීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරු මේ කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.

ඖෂධ හිඟය මඟහරවා ගැනීම සම්බන්ධයෙන් අදාළ තොරතුරු ගැනීම එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පවරා ඇති අතර, එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහතාට පොහොර අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පවරා ඇත.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල සාගල රත්නායක මහතාට පවරා ඇත්තේ ඛනිජ තෙල් සම්බන්ධව වගකීමයි.

මෙම කමිටුව අදාළ ක්ෂේත්‍රවල සියලුම පාර්ශවකරුවන් හමුවී පවතින සැබෑ ගැටලු හඳුනාගෙන ඔවුන්ගේ යෝජනා ද ගෙන සමාජයේ පවතින සැබෑ තත්ත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම වාර්තා කිරීමට නියමිතව ඇත.

ඉන්ධන, විදුලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සහ භාණ්ඩ සම්බන්ධයෙන් රටේ වර්තමාන සත්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබන සඳුදා දින (16) මහජනතාව හමුවේ තැබීමට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරගෙන යනු ලබයි.

කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී අගමැති ධුරයේ වැඩ කටයුතු ඊයේ (13) උදෑසන ආරම්භ කළ මෙහොතේ පටන් ඉහත ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් කැඳවා පවතින අර්බුදයේ සැබෑ තත්ත්වය විමසා බැලීම ආරම්භ කළ අගමැතිවරයා ඒම තොරතුරු මත නව ආර්ථික රාමුවක් සකස් කර ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීම සම්බන්ධයෙන් ක්‍රියා කරනු ඇතැයි අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් දිනමිණට ඊයේ (13) පැවසීය.

මේ ක්‍රියාවළිය සඳහා අගමැති කාර්යාලය මෙම සති අන්තයේ සහ වෙසක් නිවාඩු දිනවල නොනවත්වා කටයුතු කරගෙන යන බවත් හෙතෙම පැවසීය.

රටේ මේ වන විට ගෑස් , ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවල පවතින ගැටළුකාරී තත්ත්වය නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අවස්ථාවක හැකි ඉක්මනින් ජනතාවට සහනයක් දීම අගමැතිවරයාගේ අරමුණ බවද ඒ නිලධාරියා පැවසීය.

රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය දැන ගැනීමේ අයිතිය මහජනතාවට ඇතැයි අගමැතිවරයාගේ අදහස බවත් ආර්ථික තත්ත්වය පිළිබඳව සැබෑ තොරතුරු මහජනතාව හමුවේ තැබීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඒම තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙසත් වික්‍රමසිංහ මහතා මීට පෙර ආණ්ඩුවෙන් ඉල්ලූ බවත් ඒම ප්‍රකාශකයා පැවසීය.

 

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න