අරලියගහ මැඳුර ඉදිරිපිට අරගලකරුවන්ට බාධා කිරීම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස රනිල් නම් කිරීමට අධිකරණයේ අවසර | දිනමිණ

අරලියගහ මැඳුර ඉදිරිපිට අරගලකරුවන්ට බාධා කිරීම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස රනිල් නම් කිරීමට අධිකරණයේ අවසර

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති අරගල භූමියේ සිටින අරගලකරුවන්ට සහ පදිකයන්ට බාධා වන පරිදි නවතා ඇති ට්‍රක් රථ සහ බස්රථ සහ මාර්ග බාධක යෙදීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පොලිස්පති වරයා, කොල්ලු පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) අවසර දුන්නේය.

එසේම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 22 වැනි දා කැඳවන ලෙස නියම කෙළේය.

බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව මෙම අවසරය දෙන ලදී.

අරගලයට සක්‍රීයව දායක වන නීතීඥ වරියක වන ශානිකා සිල්වා, සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර නීතිඥ සුනිල් වටගල මහතා මඟීන් මෙම පෙත්සම් ගොනු කරන ලදි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඩන්කන් ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, පොලිස්පතිවරයා, සහ නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

ඉහළ යන ජීවන වියදම සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා හිගකම හේතුවෙන් ජනතාව පීඩාවට පත් වීම නිසා වත්මන් ජනාධිපති වරයාට සහ අගමැති වරයාට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මෝදර පිටිය ඇතුළු ස්ථාන රැසක මහජන උද්ඝෝෂණ පැවැත්වෙන බව පෙත්සමෙහි සඳහන් වේ.

එහි එක් පියවරක් ලෙස අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගල භූමියක් දින දහයක සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.

එම අරගලකරුවන්ගේ හඩට බාධාවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට වගඋත්තර කරුවන් කටයුතු කර ඇති බවද එය භාෂණයේ සහ සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීමට ඇති අයිතිය උල්ලංඝනය කරන්නක් වන බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

එසේම අරගල කරුවන්ට සහ පදිකයන්ට බාධාවන පරිදි පොලිස් ට්‍රක් රථ සහ බස්රථ අරලියගහ මන්දිරය ඉදිරිපිට නවතා ඇති බව ද පෙත්සමෙහි සදහන් වේ. ඒවා ඉවත් කරන ලෙස අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළ ද ඒවා නොතැකූ පොලිස් නිලධාරීන් විරෝධතා කරුවන්ගේ බැනර් සහ පුවරු ඉවත් කිරීමට පියවර ගත් බව පෙත්සම්කරුවෝ පවසති.

මෙකී ක්‍රියාවලිය නිසා පෙත්සම්කරුවන් ඇතුළු මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ යක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කරන්නැයි පෙත්සම මඟින් ඉල්ලා ඇත.

නීතීඥ සුනිල් වටගල මහතා මගින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

නෙල්කා මැදගෙදර

නව අදහස දක්වන්න