සැක කටයුතු චීන නෞකාවක් ඔස්ට්‍රේලියාවේ ඔත්තු බලයි | දිනමිණ

සැක කටයුතු චීන නෞකාවක් ඔස්ට්‍රේලියාවේ ඔත්තු බලයි

අමෙරිකාවට සහ සෙසු මිත්‍ර රටවලට අයත් සබ්මැරීන් සඳහා බටහිර ඔස්ට්‍රේලියා මුහුදු තීරයේ සිට සන්නිවේදන කටයුතු සිදු කරන රහසිගත නාවික කඳවුර ආසන්නයේ සැක කටයුතු චීන නෞකාවක් සැරි සරනු ඇතැයි ඔස්ට්‍රේලියාව හඳුනා ගෙන ඇත.

එම අධිතාක්ෂණ මෙවලම් සහිත චීන නෞකාව ඔත්තු බැලීමේ කටයුතුවල නිරත වී ඇතැයි ඔස්ට්‍රේලියා ආරක්ෂක ඇමැති පීටර් ඩුටන් අනාවරණය කෙළේය. එක්ස් මවුත් නාවික හමුදා කඳවුර ආසන්නයේ යාත්‍රා කරමින් සිටි බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ අතිනවීණ තාක්ෂණික පද්ධතියකින් සමන්විත එම නෞකාව ඉතා සමීපයෙන් නිරීක්ෂණය කළ ඔස්ට්‍රේලියා ආරක්ෂක හමුදාව සමත් වූ බව ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කැර තිබේ.

එම ඔත්තු බැලීමේ චීන නෞකාව සතියක් හෝ ඊට වැඩි කාලයක් ඒ අවට සැරි සරමින් සිටියද, ඔත්තු බැලීමේ කාර්යයෙහි නිරත වූ නිශ්චිත දිනයක් ගැන ඔස්ට්‍රේලියාව සඳහන් කර නැත.

සැබැවින්ම එම යාත්‍රාව මුහුදු තීරය අවට ඔත්තු එක්රැස් කිරීමේ කාර්යයෙහි නිරත වූ බවත්, එම නෞකාව ඒ අවට යාත්‍රා කරනු ලැබුවේ ඔත්තු බැලීමේ අභිප්‍රායෙන් බවත් ඔස්ට්‍රේලියා ආරක්ෂක ඇමැතිවරයා අවධාරණය කැර ඇත.

එම නෞකාව දකුණු දිශාවට කොපමණ දුරක් යාත්‍රා කර ඇත්දැයි සහ උතුරට කොපමණ දුරක් යාත්‍රා කැර ඇත්දැයි මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව සඳහන් කළ ඔස්ට්‍රේලියා ආරක්ෂක ඇමැති එම නෞකාව හැකි තරම් තොරතුරු එක්රැස් කරන්නට ඇතැයි අනුමාන කරයි.

එහෙත් ඔහුගේ ප්‍රකාශය සම්බන්ධව ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කැර ඇති අතර, ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණයට පෙර ජාතික ආරක්ෂාව අවදානමකට ලක්ව ඇතැයි කියා පෑමට ගත් උත්සාහයක් ලෙසත් එය ඇතැමුන්ගේ විවේචනයට ලක් වී තිබේ. එහෙත් එම චෝදනාව ආරක්ෂක ඇමැති පීටර් ඩුටන් ප්‍රතික්ෂේප කෙළේය.

චීනයේ එම ඔත්තු බැලීමේ රහසිගත මෙහෙයුම භූගෝලීය උපාය මාර්ගික යථාර්ථය සිහිපත් කිරිමක් බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත. චීනය ඔස්ට්‍රේලියාව දෙස විමසිල්ලෙන් යුතුව බලා සිටින අයුරින්ම ඔස්ට්‍රේලියාව ද ජාතික අවශ්‍යතාව මත චීනය පිළිබඳ නිරතුරු අවධානයෙන් පසුවන බව ඔහු සහතික කෙළේය.

චීන නෞකා සහ යාත්‍රා ඔස්ට්‍රේලියාව, ජපානය සහ තායිවානය ඇතුළු සමීප රටවලට අයත් මුහුදු සීමාවේ පසුගිය කාලය තුළ අවස්ථා ගණනාවකදීම යාත්‍රා කර ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම එම රටවල් තදබල විරෝධයක් පෙන්නුම් කළ අතර, අදාළ සිදුවීම් හෙළා දැකීමට පියවර ගත්තේය. එමෙන්ම එවැනි අවස්ථාවන් හි ඔවුනොවුන්ගේ ආරක්ෂාව තර කරමින් අවශ්‍ය පසුබිම සකස් කැර ගත්තේය.

මෑතකදී තායිවානයේ ආරක්ෂක විශේෂඥයන් එරට රජයට නිර්දේශ කෙළේ තායිවානයේ නැඟෙනහිර මුහුදේ අනවසර චීන ක්‍රියාකාරකම් සිදුවන බැවින් වහාම එම කලාපයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙසය. ඔවුන් මේ නිර්දේශය සිදු කර ඇත්තේ මෑත කාලයේ චීන නෞකා නැඟෙනහිර මුහුදු සීමාවේ බොහෝ නාවික ක්‍රියාකාරකම් සිදු කිරීම හේතුවෙනි. ඊට අමතරව ජපානය ද මෙවැනිම චීන නෞකා සම්බන්ධව විවිධ අවස්ථාවලදී ප්‍රකාශ නිකුත් කර ඇති අතර, අනවසරයෙන් තම මුහුදු සීමාවට ඇතුළු වීම සම්බන්ධව චීන නෞකාවලට වහා පිටත්ව යන ලෙසට අනතුරු ඇඟවිම් පවා සිදු කර තිබිණි.

චීනය මෙවැනි ඔත්තු බැලීමේ ශූරයන් බවත්, එවැනි තර්ජනාත්මක සිදුවිම් හේතුවෙන් අවස්ථා ගණනාවකදීම අසල්වාසී රටවල් සමඟ මතභේද ඇති කරගත් බවත් ආසියා කලාපයේ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෝ කියති.

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව අන්තර්ජාතික නීතිය යටතේ ඕනෑම රටක වෙරළේ සිට නාවික සැතපුම් 200කින් ඔබ්බට ඇති මුහුදු තීරයේ නිදහසේ යාත්‍රා කිරීමට ඕනෑම නෞකාවකට හෝ යාත්‍රාවකට අයිතිය තිබේ. එහෙත් එවැනි දුර ප්‍රමාණයක් පවත්වා නොගෙන යම් කිසි යාත්‍රාවක් ගමන් කරන්නේ නම් ඒ සඳහා විරුද්ධත්වය පළ කිරීමට සහ අදාළ යාත්‍රාව හෝ නෞකාව ග්‍රහණයට ගෙන සෝදිසි කිරීමට හෝ අයිතියක් එම මුහුදු තීරය අයිති රටට හිමි වෙයි. එහෙත් පසුගිය කාලය ඇතුළත චීනය කටයුතු කැර ඇත්තේ එම අයිතිසිකම් උල්ලංඝනය වන අයුරින් බවත් වැඩිදුරටත් වාර්තා වේ.

චීනය සහ ඔස්ට්‍රේලියාව අතර ඉතිහාසයේ පැවැති අවබෝධතා හෝ වෙළෙඳ ගිවිසුම් වර්තමානයේ ඉතා බරපතළ ආකාරයෙන් බිඳ වැටී තිබේ. එබැවින් මෙවැනි කරුණු කාරණාවලදී ඔස්ට්‍රේලියාවෙන් චීනයට කිසිසේත්ම බුරුලක් ලැබෙන්නේ ද නැත. විශේෂයෙන් චීන නෞකාව ඔත්තු බැලූ බව කියන බටහිර ඔස්ට්‍රේලියා මුහුදු තීරයේ රහසිගත නාවික කඳවුර පවත්වාගෙන යනු ලබන්නේ අමෙරිකාවට සහ සෙසු මිත්‍ර රටවලට අයත් සබ්මැරීන් සඳහා සන්නිවේදන කටයුතු සිදු කිරීමටය. එය අතිශයින්ම වැදගත් හා තීරණාත්මක රාජතාන්ත්‍රික රාජකාරියකි. එවැනි ස්ථානයක චීන නෞකාවක් සැරි සරන්නේ නම් නිසැකවම එය ඔත්තු බැලීමේ මෙහෙයුමක් බව අමුතුවෙන් කිව යුතු නැතැයිද විශ්ලේෂකයෝ වැඩිදුරටත් කියති.

හොංකොං අර්බුදය, ෂින්ජියැං හි උයිගර් මුස්ලිම් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, ටිබෙටයේ අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීම හා තායිවාන ගුවන් සීමාව ආක්‍රමණය කිරීම වැනි චීන රජයේ අවශ්‍යතාව මත සිදු වූ බව කියන විවිධ අකටයුතුකම් හේතුවෙන් අන්තර්ජාතික ප්‍රජාව සමඟ ඔස්ට්‍රේලියාව ද එක්වී සිටින බැවින් චීනය සහ ඔස්ට්‍රේලියාව අතර ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද විරසක රැසක් මතු වී තිබේ. චීන නෞකාව ඔත්තු බැලීමේ කාර්යයෙහි නිරතව සිටි බව කියන්නේ එවැනි වාතාවරණයක් තුළදීය. චීනය දිනෙන් දින ඔවුන්ගේ හමුදා ශක්තිය වර්ධනය කරමින් සිටින බවත්, එය ලෝක සාමයට දැඩි තර්ජනයක් බවත් අමෙරිකාව මෑතකදී කළ ප්‍රකාශයට ඔස්ට්‍රේලියාවද එකඟතාව පළ කර තිබේ. එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය සමඟ එක්වී ඔස්ට්‍රේලියාව AUKUS ආරක්ෂක ගිවිසුම ප්‍රකාශයට පත් කිරීමත් චීනය සහ ඔස්ට්‍රේලියාව අතර හොඳ හිත පළුදු වීමට බලපෑ හේතුවක් බව කියැවේ.

ජනාධිපති ෂි ජින්පින්ගේ ‘එක් මාවතක් - එක් තීරයක් ‘ අන්තර්ජාතික ආර්ථික ව්‍යාපෘතිය හරහා ආසියාවේ බොහෝ රටවලත්, අප්‍රිකාවේ බොහෝ රටවලත් සිදු කෙරෙන විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට සමගාමීව අදාළ රටවල චීන ජාතිකයන් ඔත්තු බැලීමේ කටයුතු සිදු කරමින් පවතින බවටත් බොහෝ අවස්ථාවවල කරුණු අනාවරණය වී ඇතැයි වාර්තා වේ. එය චීනය ප්‍රතික්ෂේප කරනු ලැබුව ද, අමෙරිකාව ඇතුළු බටහිර රටවල් අවස්ථා ගණනාවකදී සපයනු ලැබූ විවිධ වාර්තාවලින් එම කරුණු සනාථ කිරීමට අවශ්‍ය පසුබිම පෙන්වා දී තිබිණි.

බටහිර ඔස්ට්‍රේලියා මුහුදු තීරයේ අමෙරිකාවට සහ සෙසු මිත්‍ර රටවලට අයත් සබ්මැරීන් සඳහා සන්නිවේදන කටයුතු සිදු කරන රහසිගත නාවික කඳවුර ආසන්නයේ චීන නෞකාව ඔත්තු බැලීමේ කටයුතුවල නිරත වූ බව අනාවරණය වන්නේ එවැනි පසුබිමක් තුළදීය.

 

කැලුම් රොෂාන්ත

නව අදහස දක්වන්න