පාකිස්තානයේ ජල හිඟයක් | දිනමිණ

පාකිස්තානයේ ජල හිඟයක්

පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ උග්‍ර ජල හිඟය හේතුවෙන් වී වගා නොකරන ලෙස එම ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. මෙවැනි ජල හිඟයක් පාකිස්තානයේ ග්‍රාමීය පළාත්වල ගොවීන් දැඩි පීඩාවට පත් කර ඇත්තේ වසර තුනකට පසුව වන අතර, ජල හිඟය හේතුවෙන් මිලියන ගණනාවක ජනතාවට සිය වගාවන් සිදු කරගත නොහැකි තත්ත්වයක් මතු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සින්ද් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති සෙයිඩ් මුරාඩ් අලි ෂා පසුගියදා එක්තරා ග්‍රාමීය පළාතකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම ඉල්ලීම කර තිබේ. රට පුරා ජලය බෙදා හැරීමේ අසමානතා පිළිබඳ තමා කනස්සල්ලට පත්ව සිටින බවත්, එක හා සමානව සැමට ජලය ලැබිය යුතු බවත් මහඇමතිවරයා අවධාරණය කර ඇතැයි ද වාර්තා වේ.

ජල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම දුර්වල තත්ත්වයකට ඇද වැටී පාකිස්තානය වියලි රටක් බවට පත් වීමට ආසන්නතම හේතුව වන්නේ එරට පත්වන සෑම රජයක්ම හමුදාවට සහ අවිආයුධවලට වැඩි මුදලක් වැය කරමින් ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමු කළද, මහජනතාවගේ ගැටලුවලට විසඳුම් සෙවීමට උනන්දුවක් නොදැක්වීම බවට පාකිස්තාන මාධ්‍ය චෝදනා කර ඇත. ඉදිරියේදී පාකිස්තානයේ ජලය සුරක්ෂිත කිරීම දැඩි අර්බුදයක් වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

නව අදහස දක්වන්න