අප්‍රිකාවට බැට දෙන සාගතය | දිනමිණ

අප්‍රිකාවට බැට දෙන සාගතය

නියඟයෙන් පීඩා විඳින අතරවාරයේ දැනට තුන්මසක් පමණ තිස්සේ රුසියා - යුක්රේන යුද ගැටුම හේතුවෙන් ද අප්‍රිකානු රටවලට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි.  නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍යයන්  බොහොමයක් ධාන්‍ය, පොහොර, ඉන්ධන ආදිය ආනයනය කරන්නේ  රුසියාව සහ  යුක්රේනයෙනි. එම සැපයුම  බිඳවැටීමත් සමඟ එම ද්‍රව්‍යවල මිල අහස උසට නැඟ ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දී තිබේ.

හතළිස්වසරකට පමණ පසුව කෙන්යාව, ඉතියෝපියාව, සෝමාලියාව වැනි අප්‍රිකානු රටවලට බලපා ඇති දරුණු නියං තත්ත්වය හේතුවෙන් මිලියන සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පීඩාවිඳිමින් සිටිති. සාගතයෙන් පීඩාවිඳින ළමුන්ගේ ඉරණම වඩාත් ශෝචනීයය. කොවිඩ් වසංගතය, මේ ඇතැම් රටවල අභ්‍යන්තර යුද ගැටුම් මෙන්ම දේශපාලන අස්ථාවරත්වය ද මේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමට හේතුවී තිබේ. අප්‍රිකාවේ එක් අන්තයක මෙවැනි තත්ත්වයක් පවතින අතර, දකුණු අප්‍රිකාවේ ගංවතුර ආපදා හේතුවෙන් 450කට ආසන්න පිරිසක් මිය ගොසිනි. දහස් සංඛ්‍යාත පිරිසකට උන්හිටිතැන් අහිමි වී තිබේ.

දැඩි නියඟය හේතුවෙන් සාගතයකට මුහුණ දී සිටින උතුරු කෙන්යාවේ තුර්කානා වැනි ප්‍රදේශවල වැසියන්ගේ උදෑසන, දිවා හා රාත්‍රී ආහාරය පාම් ගෙඩිය. එය සපයාගැනීමට ද සැතපුම් 20ක් පමණ දුර ගෙවීමට සිදුව ඇතැයි පවසන තුර්කානා වැසියන් ‘පාම් ගෙඩිත් නැත්නම් අපිත් නෑ’ යනුවෙන් පවසන්නේ උද්ගතව ඇති ආහාර අහේණියේ තරමය. එක දිගට වැසි කාල 4ක් නොලැබීම හේතුවෙන් ආහාර නිෂ්පාදනයට බලපෑම් ඇති වීම ද ආහාර මිල මෙන්ම ඉන්ධන මිල විශාල ලෙස ඉහළයාම ද සිදුව ඇත. ලෝක ආහාර වැඩසටහන (WFP) පෙන්වා දෙන පරිදි මේ රටවල මිලියන 20ක පමණ ජනසංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින අතර, මානුෂීය ආධාර ද හිඟ වී තිබේ. මේ අවස්ථාවේදී සහනාධාර නොලැබී ගිය හොත් දරුණු මන්දපෝෂණ තත්ත්වයකට මුහුණදීමට ඔවුන්ට සිදුවනු ඇති බවට ලෝක ආහාර වැඩසටහනේ කෙන්යා නේවාසික අධ්‍යක්ෂ ලොරේන් ලැන්ඩිස් අවධාරණය කර ඇත. එසේම ඔවුන් ඉදිරියේ මරණයේ තර්ජනය ද තිබේ.

කාන්තාරකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඉකුත් බදාදා නිකුත් කළ වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ වසර 2000 සිට ලෝකයේ රටවල් මුහුණදෙන නියං කාලසීමා 29%කින් වැඩි වී ඇති බවය. ලෝකය පුරා වාර්තා වන ස්වභාවික ආපදාවලින් 15%ක් අයත්වන්නේ නියඟයටය. 1970 – 2019, වසර 50ක පමණ කාලසීමාව තුළ එවැනි ආපදා හේතුවෙන් සිදුව ඇති මරණවලින් 650,000ක් මේ නිසා සිදු වූ ඒවාය. ජල හිඟයෙන් පීඩා විඳින සංඛ්‍යාව බිලියන 2.3ක් පමණ වන අතර, ළමුන් මිලියන 160ක් පමණ දරුණු නියං තත්ත්ව හේතුවෙන් පීඩා විඳින බව ද එම වාර්තාවේ දැක්වේ. මීට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වුව හොත් මිලියන 700ක පමණ ජනසංඛ්‍යාවක් වසර 2030 වන විට නියඟය හේතුවෙන් අවතැන් වූවන් ලෙස වාර්තාවනු ඇත. ගණනය කර ඇති පරිදි වසර 2040 වන විට ලොව පුරා සෑම ළමුන් ¼ ක්ම ජීවත්වන්නේ දරුණු ලෙස ජල හිඟයෙන් පීඩාවිඳින පෙදෙස්වලය. එසේම වසර 2050 වන විට ලෝක ජනගහනයෙන් ¾ ක්ම නියඟය හේතුවෙන් පීඩා විඳින්නන් බවට පත්වේ.

අප්‍රිකානු රටවල් මෙතරම් දරුණු නියං තත්ත්වයකින් මීට පෙර අවසන් වරට පීඩාවින්ඳේ 1981 වසරේදීය. මේ තත්ත්වය වසර 2011 සහ 2012 දී නැඟෙනහිර අප්‍රිකාව මුහුණ දුන් නියං තත්ත්වයට වඩා දරුණු වනු ඇතැයි ද මෙම වාර්තාව පෙන්වා දේ.

දරුණු නියං ආපදා තත්ත්වය හේතුවෙන් කෙන්යාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. තුර්කානාහි ඇළවේලි 90%කට ආසන්න ප්‍රමාණයක් සිඳී ගොසිනි. මේ තත්ත්වය යටතේ ගොවිතැන, ධීවර කර්මාන්තය මෙන්ම සත්ත්ව පාලනය ද කළ නොහැකිවී තිබේ. ABC පුවත් සේවය වාර්තා කළ පරිදි කකුමා නම් ගම්බද නගරයේ රතුකුරුස සංවිධානය පවත්වාගෙන යන රෝහලක මන්දපෝෂණය නිසා ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ආසන්න මාස කිහිපයේ සිව්ගුණයකින් ඉහළ ගොසිනි. නැඟෙනහිර අප්‍රිකාවේ පොහොසත් රාජ්‍යයක් වන කෙන්යාවට අසල්වැසි අප්‍රිකානු රටවල සිට සංක්‍රමණය වන සරණාගතයන් සංඛ්‍යාව ද ඉහළ ගොසිනි. ආහාර හා ජලය සපයා ගැනීමේදී තම රටවලට වඩා යම් හෝ පහසුවක් එහි තිබෙන්නේ යැයි ඔවුන් සැලකීම ඊට හේතුවය. එසේවුවද, නියඟයෙන් පීඩා විඳිමින් සිටින කෙන්යාවට ද ඔවුන්ට එලෙසින්ම උපකාරී වීමට නොහැකි වී ඇත. දරුණු ලෙස මන්දපෝෂණයට ගොදුරුවීමෙන් රෝහල්ගතවන ළමුන් සංඛ්‍යාව දෛනිකව 20කට ආසන්නය. ඒ අතරින් 85% කගේ පමණ ජීවිත බේරාගැනීමට හැකිවුවද ඉතිරි 15% ජීවිතය හැරයන්නේ ළමාවියේදීමය.

නියඟයෙන් පීඩා විඳින අතරවාරයේ දැනට තුන්මසක් පමණ තිස්සේ රුසියා - යුක්රේන යුද ගැටුම හේතුවෙන් ද අප්‍රිකානු රටවලට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි. නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍යයන් බොහොමයක් ධාන්‍ය, පොහොර, ඉන්ධන ආදිය ආනයනය කරන්නේ රුසියාව සහ යුක්රේනයෙනි. එම සැපයුම බිඳවැටීමත් සමඟ එම ද්‍රව්‍යවල මිල අහස උසට නැඟ ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දී තිබේ. කෙන්යා රජය මාර්තු, අප්‍රේල්, මැයි මාස 3 දීම ඉන්ධන මිල ඉහළ දැමුවේය. මෙවැනි බලපෑම් හේතුවෙන් ඉකුත් වසරට සාපේක්ෂව පවුලක මාසික ආහාර අවශ්‍යතාව 23% කින් ඉහළ ගොසිනි.

මේ තත්ත්වය බලපා ඇත්තේ මිනිසුන්ට පමණක් නොවේ, සතුන්ට ද ඉන් පීඩා ඇති වී තිබේ. ගෘහාශ්‍රිතව ඇති කරන ගවයන්, ඔටුවන්, එළුවන් වැනි සතුන්ට ආහාර සැපයීම දුෂ්කර වී ඇත. එළුවන් 20ක් සිටි එක් පවුලක් සතුව දැනට සිටින්නේ 8 දෙනෙකි. මේ රටවලින් වාර්තාවී ඇති මෙවැනි සතුන් ගණන මිලියනයක් පමණ වන බව ගණන් බලා ඇත. ඉන් වැඩි ප්‍රමාණයකගේ මරණයට හේතුව ආහාර අහේණිය හා ලෙඩරෝග බව වාර්තා විය. තවදුරටත් වැසි නොලැබී ගිය හොත් එය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ඛේදනීය ලෙස බලපානු ඇත. යුනිසෙෆ් සංවිධානය මේ සතියේ වාර්තා කළ පරිදි මාර්තු මැද වන විට ඉතියෝපියාවේ පමණක් මිලියන 6කට වැඩි සංඛ්‍යාවකට හදිසි මානුෂීය ආධාර වුවමනා කර තිබිණි. සෝමාලියාවේ එම සංඛ්‍යාව මිලියන 7 ඉක්මවීය. ඉතියෝපියාවේ නියඟය දරුණු ලෙස බලපා ඇති ප්‍රදේශවල ළමුන් 150,000ක් පමණ පාසල් හැරගොස් ඇත්තේ ජල හිඟය හා අනෙකුත් දුෂ්කරතා හේතුවෙනි. ඉක්මනින් වැසි ලැබෙතැයි අපේක්ෂා කළ ද යම් සහනයක් ලැබෙනු ඇත්තේ තවත් මාස කිහිපයක් ගතවීමෙන්ය. එරට පවතින යුද ගැටුම් ද මේ තත්ත්වය බරපතළ කර ඇත.

උද්ගතව ඇති ස්වභාවික ආපදා තත්ත්වය දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. දරුණු නියඟයට හේතුව ලා-නිනා ආචරණයේ බලපෑම බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ වසර ආරම්භයත් සමඟ මේ දක්වා ආහාර හා ජලය සොයා නිවෙස්වලින් පිටවී ඇති සෝමාලියානුවන් ගණන 500,000 ඉක්මවා තිබේ. සෝමාලියා රජයට අල්-ෂබාබ් කැරැලිකරුවන් සමඟ සටන් කිරීමට ද සිදුව ඇත. ලෝකයේ වැඩිම පුද්ගල සංඛ්‍යාවක් අභ්‍යන්තර වශයෙන් අවතැන්ව සිටින රටවල් අතරට සෝමාලියාව ද ඇතුළත්ය. ලබන ජූනි මාසය වන විට දරුණු ලෙස කුසගින්නෙන් පීඩාවිඳිනු ඇති කෙන්යානුවන් ගණන මිලියන 40 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇත.

මේ රාජ්‍ය හැරුණුවිට මාලි, නයිජර් හා බ’කීනා ෆාසෝ යන රාජ්‍යයන් ද දැඩි ලෙස ආහාර හිඟවීම හේතුවෙන් කුසගින්නෙන් පීඩා විඳින මිනිසුන් විශාල වශයෙන් වාර්තා වන රටවලට අයත්ය. මාලි රාජ්‍යයේ දශකයක පමණ කාලයක් තිස්සේ සන්නද්ධ ගැටුම් පවතී. මේ හේතුවෙන් රට තුළ දේශපාලන අස්ථාවරත්වයන් ද ඇතිවී තිබේ. එහි හදිසි මානුෂීය ආධාර අවශ්‍ය පිරිස මිලියන 7 ඉක්මවයි. නයිජර් රාජ්‍යයේ ද වසර ගණනාවක් තිස්සේ ගැටුම් පවතී. අනාරක්ෂිත බව හේතුවෙන් බොහෝ දෙනා ගැටුම් සහිත ප්‍රදේශවලින් පලාගොස් ඇත. බ’කීනා ෆාසෝ රාජ්‍යයේ ද වාර්ගික හා ආගමික ගැටුම් හේතුවෙන් මිලියන 2ක පමණ සංඛ්‍යාවක් අවතැන්ව සිටින අතර, ඔවුන්ගෙන් 90% කටම මේ කන්නයේ වගා කටයුතු මඟහැරිණි. යුක්රේන යුද්ධය හේතුවෙන් ආහාර මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, කෘෂි නිෂ්පාදනය අඩාළවීම තත්ත්වය වඩාත් බරපතළ අතට හැරීමට හේතුවකි.

මේ රටවල තත්ත්වය විමසන විට පැහැදිලි වන කාරණයක් නම්, සාගතයක් ඇතිවීමට හේතුව සෑමවිටම ස්වභාවික ආපදා පමණක්ම නොවන බවය. හිංසාකාරී ගැටුම් ද ඊට බලපා ඇත. නයිජීරියාව, යේමනය වැනි රටවල අත්දැකීම ද එයය. ලොව වඩාත්ම ආහාර අහේණියෙන් මෙන්ම බරපතළම මානුෂීය අර්බුදය වාර්තාවන රාජ්‍යය යේමනයයි. ඇදෙමින් පවතින සිවිල් යුද ගැටුම් හේතුවෙන් මානුෂීය ආධාර අවශ්‍යව ඇති ජන සංඛ්‍යාව මිලියන 21ක් පමණ වේ. යථාර්ථය නම් සාගත තත්ත්වයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙන විට ද කුසගින්නෙන් පීඩාවිඳිමින් මිනිසුන් මියයාමට පටන්ගෙන ඇති බවය.

මෙවැනි ආපදා තත්ත්වවලදී හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වුවද, අන්තර් ජාතික ප්‍රජාව ක්‍රියාත්මකවන්නේ මන්දගාමීවය. 2011 දී සෝමාලියාව මුහුණදුන් තත්ත්වය ඊට නිදසුනකි. 250,000ක පමණ පිරිසක් අකාලයේ මරුමුවට පත් වූ අතර, ඉන් අඩක් පමණ සාගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරෙන විට ද ජීවිතය හැර ගොසිනි.

සාගතය යනු කුසගින්නෙන් මිනිසුන් මියයාම පමණක් නොවන බව සිහිතබා ගැනීම ද වැදගත්ය. විශේෂයෙන් කුඩා දරුවන්ගේ හා තරුණයන්ගේ අනාගතය ද එය විනාශකර දමයි. හිංසාකාරිත්වයට මෙන්ම අනාරක්ෂිත බවට ද එය හේතුවේ. එවැනි තත්ත්ව ත්‍රස්තවාදය පෝෂණය කිරීමට උපකාරී වේ. අද ලෝකය මුහුණදෙන, විසඳා ගත යුතු විශාලම තනි ගැටලුව සාගින්න බව පිළිගැනීමය. එබැවින් සාගත - සාගිනි නිවීම ලොව හමුවේ ඇති හදිසි ප්‍රමුඛතාවක් බවට පත්වී තිබේ.

 

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න