මරණය ගෙනා ගෘහස්ථ හිංසනය | දිනමිණ

මරණය ගෙනා ගෘහස්ථ හිංසනය

''ගෘහස්ථව සිදු වන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අයත් වන්නේ "සැමියාගෙන් හෝ ඔහුගේ ඥාතීන්ගෙන් හෝ කාන්තාවකට එල්ල වන" ප්‍රචණ්ඩ ක්‍රියා වශයෙනි. ඒ යටතේ වර්ග කළ හැකි ප්‍රචණ්ඩ ක්‍රියා වසරින් වසර වැඩි වන ප්‍රවණතාවක් ඉන්දියාවේ දැකිය හැකි බව සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ. ඉන්දීය පොලිසියට එවැනි පැමිණිලි 112292කට ආසන්න සංඛ්‍යාවක් 2020 වසරේදී ලැබී තිබිණ.''

නිර්මලා තම සැමියාට සිරිත් පරිදි උදෑසන ආහාරය පිළිගැන්වූවාය. හතළිස් හය හැවිරිදි නිකේෂ් ඝාගා නැතහොත් නිර්මලාගේ සැමියා උදෑසන ආහාරය භුක්ති විඳින්නට ගත් සැ‍ෙණකින්ම පරල වූයේය. ඔහු කියා සිටියේ නිර්මලා පිළිගැන්වූ උදෑසන ආහාරයෙහි ලුණු අධික බවකි. දැඩි ලෙස කෝපයට පත් නිකේෂ්, නිර්මලාට නොනවත්වා පහර දෙන්නට පටන් ගත්තේ දොස් තබමිනි. මේ ආරවුල අවසන් වූයේ නිකේෂ් හතළිස් හැවිරිදි සිය බිරියගේ ගෙල සිරකර මරා දැමීමෙන් පසුවය. ඉන්දියාවේ බටහිර මුම්බායි ආසන්නයේ පිහිටි තානේ ප්‍රදේශයෙන් වාර්තා වුණු මේ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍ය සේවාවන් වාර්තා කිරීමත් සමඟම මුළු මහත් ලෝකයාගේම අවධානය ඒ වෙත යොමු විණ. බැංකු ලිපිකරුවකු වූ නිකේෂ් ඝාගා පොලිස් අත්අඩංගුවට පත් විය. නිර්මලාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රබලම සාක්ෂිය ලබා දුන්නේ නිර්මලා-නිකේෂ් යුවළගේ දොළොස් හැවිරිදි එකම පුතුය. සිය පියා මව මරා දැමූ අන්දම ඔහු සියැසින්ම දැක තිබිණ. පියා උදෑසන ආහාරයෙහි ලුණු වැඩිවීම ගැන මවගෙන් අසමින් ඈ නිදන කාමරය වෙත රැගෙන ගොස් පහර දුන් බව සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේය.

 

 

ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ

පහරදීම නවත්වන ලෙස පුතා හඬා වැටෙමින් පියාට දන්වා ඇති නමුත් පියා පුතුට සවන් දී නොමැත. පහරදීමෙන් පසු කඹයකින් ද ඇගේ ගෙල හිර කළ නිකේෂ් සියල්ල අවසානයේදී නිවෙසින් පිටතට පැමිණ තිබේ. ඒ අවස්ථාවේදී දරුවා මව් පාර්ශ්වයේ අත්තම්මාට සහ මාමාට දුරකතන ඇමතුම් දෙමින් සිද්ධිය විස්තර කර ඇත. පොලිසිය පවසන්නේ පොලිස් නිලධාරීන් එහි ළඟා වන විට නිර්මලාගේ ඥාතීන් නිර්මලාව රෝහල වෙත රැගෙන ගොස් තිබූ බවයි. රෝහලට රැගෙන යනවිටත් නිර්මලා මියගොස් සිටියාය.

විත්තිකරු පොලිස් ස්ථානයට පසුව භාර වූයේය. තමන් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බව ඒ අවස්ථාවේදී විත්තිකරු කියා සිටියේය. එහෙත් ඔහුව බන්ධනාගාරගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණ. නිවසේ ඇති වන ගැටලු මුල් කරගෙන අවසන් දින පහළොවක කාලය තුළදී නිර්මලා සහ නිකේෂ් අතර නිතර නිතර අඬදබර ඇති වී තිබුණු බව නිර්මලාගේ ඥාතීහු සඳහන් කරති. කෙසේ වුවත් මේ අඬදබර සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී නැති බව පොලිස් නිලධාරීහු කියා සිටිති.

"ආහාරයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවකදී සැමියකු තම බිරිය ඝාතනය කර ඇත" යන ප්‍රවෘත්තිය ඉන්දීය සහ අන්තර්ජාතික මාධ්‍ය සේවාවන්වල පසුගිය දා ප්‍රධාන ශීර්ෂ පාඨයක් වී තිබිණ.

නිර්මලාගේ මරණයෙන් ලොවට නැවත වරක් විවරණය කෙරුණේ ඉන්දීය කාන්තාව ගෘහස්ථ හිංසනයට ලක්වන අන්දමය. ගෘහ අභ්‍යන්තරයේදී එවැනි හිංසනයන්ට අඩු වැඩි වශයෙන් ලක්වන කාන්තාවන් ඉන්දියාවේ ඕනෑ තරම්ය. එවැනි සිදුවීම්වලින් බහුතරයක් මාධ්‍යයෙන් වාර්තා නොවේ. රාත්‍රී ආහාරය බෙදා දීම ප්‍රතික්ෂේප කළ තම බිරිය ඝාතනය කළ සැමියකු පිළිබඳව දිල්ලියෙන් පසුගිය ජනවාරියේදී වාර්තා විණ. තම ආහාර පිඟානට සලාද නොබෙදූ බිරිය මරා දැමූ සැමියකු ගැන පසුගිය ජුනි මාසයේදී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වූයේ ය. නිසියාකාරව ෆ්‍රයිඩ් රයිස් සකසා දීමට නොහැකි වූ තම බිරිය මරා දැමූ බැංගලෝර් වැසියකු පිළිබඳ ද පසුගිය වාර්තා විණ. මෙවැනි සිදුවීම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන සිදුවන එහෙත් බොහෝ විට වැඩි දෙනකුගේ අවධානයට ලක් නොවන ප්‍රචණ්ඩ ක්‍රියා බව ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ක්‍රියාකාරිනියක වන මාධවී කුක්‍රේජ්‍ පෙන්වා දෙන්නීය.

 

 

ඉන්දීය පොලිසිය

ගෘහස්ථව සිදු වන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා අයත් වන්නේ "සැමියාගෙන් හෝ ඔහුගේ ඥාතීන්ගෙන් හෝ කාන්තාවකට එල්ල වන" ප්‍රචණ්ඩ ක්‍රියා වශයෙනි. ඒ යටතේ වර්ග කළ හැකි ප්‍රචණ්ඩ ක්‍රියා වසරින් වසර වැඩි වන ප්‍රවණතාවක් ඉන්දියාවේ දැකිය හැකි බව සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වේ. ඉන්දීය පොලිසියට එවැනි පැමිණිලි 112292කට ආසන්න සංඛ්‍යාවක් 2020 වසරේදී ලැබී තිබිණ. ගෘහස්ථව කාන්තාවන්ට එල්ල වන මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා හුදෙක් ඉන්දියාවේ පමණක් දැකිය හැකි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එම සංවිධාන බලධාරීන් කියා සිටින්නේ ලෝ පුරා සිටින සෑම කාන්තාවන් තිදෙනකුගෙන් එක් කාන්තාවක් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන බවකි. එයින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ එම කාන්තාවගේ සමීපතමයන් අතින් බව ද එම බලධාරීහු පවසති.

කාන්තාවන්ට ඔවුන්ගේ සමීපතමයන්ගෙන් එල්ල වන මේ ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන සමාජ ක්‍රියාකාරිකයන්ට තම ව්‍යාපාර පවත්වාගෙන යන්නට සිදුව තිබෙන්නේ ඒ ඒ රටෙහි පවත්නා සංස්කෘතිය අනුවය. එවැනි සිදුවීම් සඳහා සංස්කෘතීන් මඟින් ඇති කෙරෙන්නේ ඉතා නිහඬ තල්ලුවක් බව එම ක්‍රියාකාරිකයෝ පවසති. තම බිරිය සැමියාගේ පාර්ශ්වයේ ඥාතීන්ට අගෞරව කළහොත්, තම නිවෙස ගැන හෝ දරුවන් ගැන හෝ නොසලකා හැරියහොත්, සැමියාට නොපවසා බිරිය නිවෙසින් බැහැරට ගියහොත්, ලිංගික ක්‍රියා ප්‍රතික්ෂේප කළහොත් හෝ නිසියාකාරයෙන් ඉවුම් පිහුම් නොකළහොත් හෝ සැමියාට තම බිරියට පහරදීමට අයිතියක් ඇති බව ඉන්දියාවේ බොහෝ පිරිමින් මෙන්ම ඇතැම් කාන්තාවෝ ද පිළිගනිති. ඉන්දියාවේ ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණ ආයතනය සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ මතු සඳහන් කළ කරුණු යටතේ සැමියා තම බිරියට පහර දීම ඉන්දීය ජාතික පිරිමින්ගෙන් 40%ක් ද, කාන්තාවන්ගෙන් 38%ක් ද පිළිගන්නා බවකි. ඉන්දියාවේ ප්‍රාන්ත හතරක වෙසෙන ජනයාගෙන් 77%ක පමණ පිරිසක් කාන්තාවන්ට එරෙහි පළමු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා, සාධාරණීකරණය කිරීම පුදුමයට කරුණකි. නිසි පිළිවෙළට උයා පිහා නොතබන බිරියට පහරදීම, ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කාන්තාවෝ ද සාධාරණීකරණය කරති.

 

 

පීතෘ මූලික සමාජ ක්‍රමය

මේ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන්නේ පස් වසරකට පෙර තිබුණු තත්ත්වයට වඩා යහපත් බව ඔක්ස්ෆෑම් ඉන්දියා සංවිධානයේ ස්ත්‍රී පුරුෂ සමාජ සම්භවය පිළිබඳව කටයුතු කරන නිලධාරිනී අමිතා පිට්‍රේ පවසයි. කාන්තාවන්ට එරෙහිව නිවෙස් තුළ සිදුවන ප්‍රචණ්ඩත්වය ගැහැනුන්ගෙන් 52%ක් සහ පිරිමින්ගෙන් 42%ක් පස් වසරකට ඉහතදී සාධාරණීකරණය කළ බව අමිතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ වන විට කිසියම් ආකාරයක ආකල්ප වෙනස්වීමක් සිදුව ඇතැයි එමඟින් නිගමනය කළ හැකි යැයි ඈ පවසන්නී ය.

"... කාන්තාවක් හැසිරිය යුතු ආකාරය පිළිබඳව ස්ථාවර සමාජ සංකල්ප ඇත. ඇය හැම විටම පුරුෂයාට යටත් විය යුතුයි; තීරණ ගැනීමේදී ඇයට හිමි වන්නේ වෙනස් තැනක්; ඇය ඔහුට සේවය කළ යුතුයි; ඇය ඔහුට වඩා අඩුවෙන් ඉපැයිය යුතුයි; ඇයට තිබෙන පිළිගැනීම අඩුයි; මේ තත්ත්වයන්ට කාන්තාවක් අභියෝග කළහොත් ඇයගේ තැන පෙන්වා දීමට පුරුෂයාට සම්පූර්ණ අයිතිය තිබෙනවා කියලා තමයි හුඟක් අය හිතන්නේ. ..." යනුවෙන් ඈ වැඩිදුරටත් විස්තර කරන්නේ පීතෘ මූලික සමාජ ක්‍රමයක මුල් බැසගත් ආකල්ප ගැන ද සිහි කැඳවමිනි.

කාන්තාවන්ට එරෙහිව ගෘහය අභ්‍යන්තරයෙන්ම හටගන්නා ප්‍රචණ්ඩකාරී ක්‍රියා බොහෝවිට වාර්තා නොවන බව සමාජ ක්‍රියාකාරිකයෝ පෙන්වා දෙති. එයට හේතුව නිවෙස අභ්‍යන්තරයේ සිදුවන දේ බැහැරට නොයා යුතුය යන සංස්කෘතික සහ සමාජ සම්මත පිළිගැනීම ය. එනිසා කවර තරමේ හිංසනයක් සිදු වුව ද කාන්තාවන් පොලිසියට පැමිණිලි නොකර ඉවසාගෙන සිටීමට හුරුව සිටින බව ද ඔවුහු පෙන්වා දෙති.

ගෘහ ප්‍රචණ්ඩත්වය නොඉවසමින් සැමියාගේ නිවෙසින් බැහැරට පැමිණෙන විවාහ කාන්තාවකට වෙනත් යා යුතු තැනක් ද නොමැති වීම, මේ ගැටලුවේ තවත් පැතිකඩකි.

"... අපකීර්තියක් අත්වන නිසා මව්පියන්ට ඒ තත්ත්වයට පත් තම දුව භාර ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. අනෙක, මව්පියන් ද දුප්පත්. එනිසා අතිරේක කෙනෙකුට ආහාර පානාදිය සපයන්න ඒ අයට හැකියාවක් නැහැ. එවැනි කාන්තාවන් රැක බලා ගැනීම සඳහා ආයතනත් නැහැ. ඔවුන්ට දෙන වන්දියත් ඉන්දීය රුපියල් 500ත් 1500ත් අතර සොච්චම් මුදලක්. එය කාන්තාවකට ජීවත් වීම සඳහාවත්, දරුවන් පෝෂණය කිරීම සඳහාවත් සෑහෙන්නේ නැහැ. ..." යනුවෙන් මාධවී කුක්‍රේජ්‍ කියා සිටීයි.

ඉන්දීය ජාතික විවාහක කාන්තාව ගෘහ අභ්‍යන්තරයේදී පහරදීමකට හෝ විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට හෝ මුහුණ දෙන ගැටලු සෑහෙන ප්‍රමාණයක් ඇත. කාන්තාව දියණියක බිහි කිරීම, විවාහක කාන්තාවගේ චර්මය කළු පැහැ වීම, කාන්තාව අවලස්සන වීම, විවාහයේදී ප්‍රමාණවත් තරම් දායාද රැගෙන නොඒම වැනි ප්‍රශ්න ඒ අතර තිබේ. ඒ හැරුණු විට, සැමියා අධික ලෙස මධ්‍යසාරවලට ඇබ්බැහි වූවකු නම් ඇය නිරන්තරයෙන් ම හිංසනයන්ට ලක් වේ. කෑම මේසයට අසුන් ගන්නා සැමියාට නියමිත වෙලාවට ආහාර පිඟාන හෝ වතුර වීදුරුව හෝ නොලැබුණහොත් එයට ද ඈ දඬුවම් විඳිය යුතුව ඇත. එපමණක් නොව කිසිදු හේතුවක් නැතිව වුව ද විවාහක කාන්තාව සිය සැමියාගේ හිංසනයන්ට ඇතැම් අවස්ථාවලදී ලක් වේ. මේ හිංසනයන් පහර දීම, පහර දී දරුවන් සමඟ නිවසෙන් පළවා හැරීම වැනි හිංසනයන්වල සිට කාන්තාව ඝාතනය දක්වා වූ පුළුල් පරාසයක විහිදී ඇත.

 

 

නව අදහස දක්වන්න