‘ඇසිදිසි ශාක්‍යමුණි මහාසෑයේ’ කොත් වහන්සේ නිරාවරණය කෙරේ | දිනමිණ

‘ඇසිදිසි ශාක්‍යමුණි මහාසෑයේ’ කොත් වහන්සේ නිරාවරණය කෙරේ

පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු තවත් පරිත්‍යාගශීලී බැතිමතුන් කිහිපදෙනෙකුගේ සුරතින් සාම්ප්‍රදායික බෙර වාදනයන් සහ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඓතිහාසික කූරගල ‘ඇසිදිසි ශාක්‍යමුණි මහාසෑයේ’ කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුකරනු ලැබිණි.
 
මෙම පුණ්‍ය උත්සවයට සහභාගී වූ බැතිමතුන්ගේ සාදු නාදයන් මධ්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීම සිදුකරනු ලැබූ අතර එම අවස්ථාවේදී, ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මඟින් ගුවනින් පුෂ්ප වර්ෂා පූජාවක් සිදුකරනු ලැබීය.
 
කොත් වහන්සේ නිරාවණය කළ සුබ මොහොතේදී විචිත්‍රවත් බැලුන් රැසක් ගුවනට එක්විය. 
 
මෙම අවස්ථාවේදී පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන් විසින් අනුශාසනාවක් සිදුකරමින් මීට වසර කිහිපයකට පෙර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත්කිරීම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ විශාල බැතිමතුන් පිරිසක් විසින් ලබාදුන් අනුපමේය සහයෝගය සහ අනුග්‍රාහකත්වය මෙන්ම එම ව්‍යාපෘතිය වසරක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීම පිළිබඳ සිහපත් කරන ලදී. 
 
තවද, වසර 50 කට අධික කාලයක් අබලන්ව පැවති මෙම විහාරස්ථානය බැතිමතුන් වෙනුවෙන් නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා භටපිරිස් විසින් සිදුකරනු ලැබූ කැපවීම වෙනුවෙන් ද එම හිමිපාණන් විසින් සිය ස්තූතිය පුදකරන ලදී.
 
ඉන් අනතුරුව, කූරගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ වැඩසිටින බෝධීන් වහන්සේ වටා ඉදිකරනු ලැබූ බෝධිඝරය විවෘත කිරීම සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ තවත් බැතිමතුන් පිරිසක් එක්විය. මෙම උත්සවයේ උදෑසන සිට පැවති පුණ්‍ය කටයුතුවල පළමු අදියරේ සමාප්තිය ඒ සමඟින් සනිටුහන් විය.
 
පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්‍රාග් ඓතිහාසික විහාරස්ථානයක් වන කල්තොට, කූරගල රජමහා විහාරස්ථානයේදී පවත්වනු ලැබූ ජාතික වෙසක් සැමරුම් උත්සවය - 2022 හි දෙවන අදියර ලෙස ‘ඇසිදිසි ශාක්‍ය සුගන්ධ කුටියෙහි’ බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම ඉන් අනතුරුව සිදුකරනු ලැබිණි.
 

නව අදහස දක්වන්න