එල්ලේ ලොක්කන් 3කට ජීවිතාන්ත ක්‍රීඩා තහනමක් | දිනමිණ

එල්ලේ ලොක්කන් 3කට ජීවිතාන්ත ක්‍රීඩා තහනමක්

ප්‍රින්ස් ගුණසේකර

මූල්‍ය වංචා රාශියක් ගැන දිගින් දිගටම චෝදනා නැගූ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලයේ ප්‍රධානීන් තිදෙනකුට ජීවිතාන්ත තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරයි. 2020 හා 2021 වසරවලදී අය-වැය විගණනයට ලක් නොකිරීමෙන් ක්‍රීඩා රෙගුලාසි උල්ලංඝනය කළ බවට තහවුරු වීමෙන් මේ ජීවිතාන්ත තහනම පනවා ඇත. මේ හේතුවෙන් එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගූ, ලේකම් ප්‍රියන්ත මද්දුමගේ හා භාණ්ඩාගාරික උදය ජයසිංහ යන මහත්වරුන්ට එල්ලේ සම්මේලනයේ හෝ වෙනත් කිසිදු ක්‍රීඩා සංගමයක නිලතල දැරීමේ අයිතිය අහෝසි වී යනු ඇත.

ක්‍රීඩා රෙගුලාසි අනුව ගිණුම් වාර්තා විගණනය නොකිරීම සම්බන්ධයෙන් වන වරදකදී ක්‍රීඩා පනත හා ක්‍රීඩා රෙගුලාසි ප්‍රකාරව ජාතික ක්‍රීඩා සංගමයක සභාපති, ලේකම් හෝ භාණ්ඩාගාරිකවරයකු වශයෙන් ධුරයක් දරා සිටි තැනැත්තකු වේ නම්, එවැනි පුද්ගලයකු යම් ජාතික ක්‍රීඩා සංවිධානයකට තෝරා පත් කර ගනු ලැබීමට හෝ එසේත් නැත්නම් ගෙවීම් ලබන හෝ නොලබන යම් ධුරයක් දැරීමට හෝ ගෙවීම් ලබන හෝ නොලබන යම් තනතුරක් දැරීමට හෝ යම් ජාතික ක්‍රීඩා සංගමයක කමිටුවක සාමාජිකයකු වීමට හෝ ජාතික ක්‍රීඩා සංගමයක අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ සංවිධානයක නාමිකයකු වීමට හෝ නුසුදුස්සකු විය යුතුය යන්න දක්වා තිබේ.

මේ තත්ත්වය මත එල්ලේ සම්මේලනය විසුරුවා එහි පරිපාලනය අතුරු කමිටුවක් යටතට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තුවෙන් සිටියද නිලවරණ කමිටුවක් යටතේ විධිමත් නිලවරණයක් පැවැත්වීම ඉදිරි කාලයේදී සිදු වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රකාශකයකු ‘දිනමිණ‘ ට පැවසීය.

පසුගිය කාලය පුරා එල්ලේ සම්මේලනය තුළ විවිධ අර්බුද පැවති අතර එහි සභාපතිවරයා හා ලේකම්වරයා හිටපු ක්‍රීඩා ඇමැතිවරයා වෙත දීර්ඝ ලිපියකින් එල්ලේ සම්මේලනය හොර ගුහාවක් ලෙස හඳුන්වා දී තිබිණි. එබැවින් ක්‍රීඩාව බේරා ගැනීමට වහාම එල්ලේ සම්මේලනය අතුරු පාලනයකට යටත් කරන ලෙස ද මේ දෙදෙනා ඉල්ලීම් කළහ.

මුදල් ඉපයීම එකම පරමාර්ථය කර ගත් පිරිසක් එල්ලේ සම්මේලනය තුළ අරක්ගෙන සිටින බවත්, මැර බලය යොදා නිලධාරීන් හා ක්‍රීඩා සමාජ මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් මද්දුමගේ මහතා කරුණු දැක්වූවේය. එම පිරිස එල්ලේ සම්මේලනය ගන්නා සියලු ප්‍රගතිශීලී ඉදිරි පියවරයන් කඩා කප්පල්කොට සම්මේලනය තුළ හා ඉන් පිටත ව්‍යවස්ථා විරෝධී ලෙස හැසිරෙමින් සිටින බවත්, මූල්‍ය වංචා වලට ද වගකිවයුතු එම පිරිස සම්මේලනය තුළ සාමුහිකව කටයුතු නොකරමින් කල්ලිවාදය නිර්මාණය කිරීම කනගාටුදායක බවත් දැනුම් දුන්නේය.

සම්මේලනයේ විගණන වාර්තා දීම හිතා මතා ප්‍රමාද කිරීම, මිල ගණන් කැඳවීමකින් තොරව හිතුමතේ ලක්ෂ ගණන් වියදම් කරමින් කුසලාන හා පන්දු ගැනීම, දිස්ත්‍රික් එල්ලේ සංගම් පිහිටුවීමේදී විවිධ අයථා කටයුතුවල යෙදීම එල්ලේ ක්‍රීඩාවේ පරිහානියට හේතු වී ඇතැයි ලේකම්වරයා සිය ලිපිය මඟින් දැනුම් දී තිබිණි. එල්ලේ සම්මේලනයේ සභාපති ජයතිස්ස රුද්‍රිගූ මහතා ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ බව ලිඛිතවම දැනුම් දී තිබූ අතර එමඟින් සඳහන් කර ඇත්තේ සම්මේලනයේ නිලධාරියකු මුදල් අවභාවිත කොට ඇති හෙයින් මේ පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙසය. එම නිලධාරියා තරග අයැදුම්පත් ගාස්තු පුද්ගලික ගිණුමකට බැර කොට ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්විණි. සම්මේලනයේ ගිණුම් වාර්තාවක් විගණනය කිරීම උදෙසා මුදල් ලබාගෙන ඇතත් එවැනි විගණනයක් සිදු කොට නැති බවට ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එල්ලේ සම්මේලනයේ ක්‍රීඩා සමාජ 165ක් පැවැතියද අද වන විට ලියාපදිංචි ක්‍රීඩා සමාජ ගණන 28ක් දක්වා පහළ බැස පරිපාලනය පරිහානියට ලක්ව තිබේ.

නව අදහස දක්වන්න