මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට වසර 80යි | දිනමිණ

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට වසර 80යි

නිදහස ලැබීමට සය වසරකට පෙර ඒ සඳහා පෙරමුණ ගත් කන්ද උඩරට ප්‍රභූ පිරිසකගේ පුරෝගාමිත්වයෙන් ඇරැඹි මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අද (18) සිය අසූ වැනි වසර සමරයි.

ජාතික පුනර්ජීවයේ පදනම බාල පරපුර දැනුමෙන් පෝෂණය කිරීම බව වටහා ගත් ජාති හිතෛෂීන් ඒ වෙනුවෙන් මෙරට ඇරැඹි පාසල් අතුරින් කන්ද උඩරට මහා බෞද්ධ සිප්හලක් ලෙසින් විද්‍යාර්ථය පෙරමුණ ගනී.

කන්ද උඩරට බෞද්ධ ගැමි දරුවන් අධ්‍යාපනය ඥානයෙන් පෝෂණය කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් මෙන්ම මිෂනාරි අධ්‍යාපනයට එරෙහිව උඩරට ප්‍රභූ පිරිසකගේ පුරෝගාමිත්වයෙන් පාසල් කිහිපයක් ඇරඹිණි. එම පාසල් අතුරින් එවක අරමුණට දශක අටක් පුරා වඩාත් සාධනීයත්වයක් එක් කරන්නට විද්‍යාර්ථයට හැකිව තිබේ.

1939 පිහිටු වූ විද්‍යාර්ථ සංගමය හරහා ක්‍රියාත්මක වූ 'කිංග්ස් කොලෙජ්' නම් පාසල මිලදී ගනිමින් 1942 වසරේ විද්‍යාර්ථය ආරම්භ කිරීමට ශ්‍රීමත් ටිකිරි බණ්ඩා පානබොක්කේ මහතා ප්‍රමුඛ උඩරට ප්‍රභූ පිරිසක් පෙරමුණ ගැනිණි.

සිසුන් හතළිස් දෙනකුගෙන් සහ ගුරුවරුන් හය දෙනකුගෙන් එවක ඇරඹි විද්‍යාර්ථයේ මේ වන විට තුන් දහසකට අධික සිසු පිරිසක් අධ්‍යාපනය ලබන අතර, 150 පමණ ගුරු මණ්ඩලයක් එම දරුවන්ට අධ්‍යාපන ඥානය දීමට කැප වී සිටිති.

පී.ඩී.ඒ. අභයරත්න මහතා මෙහි පළමු විදුහල්පතිවරයාය. මේජර් එම්. ආර්. පී. මායාදුන්නේ මහතා වත්මන් විද්‍යාර්ථ විදුහල්පතිවරයා ලෙසින් කටයුතු කරන අතර, විද්‍යාලය රටෙහි ප්‍රමුඛ පෙළේ පාසලක් වශයෙන් ගොඩනැංවීමට වත්මනෙහි ඔහු විශාල මෙහෙවරක නිරතව සිටී.

1959දී පළමු වන ශ්‍රේණියේ පාසලක් බවට පත් වූ විද්‍යාර්ථය 1961දී රජයට පවරා ගනු ලැබීය. 1978දී යළි පාසල් වර්ග කිරීම් අනුව 1 ඒ ශ්‍රේණියේ පාසලක් බවට පත් විය. පසුගිය වසරේ මෙරට ජාතික පාසල් පද්ධතියට එක් වූ විද්‍යාර්ථය ගෙවුණු දශක කිහිපය පුරා ජාතියට දායාද කළ ජයග්‍රහණ රැසකි.

අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් බොහෝ ජයග්‍රහණ කඩඉම් පසු කරන අතරම, විද්‍යාර්ථය ඉතිහාසයේ පුරා ක්‍රීඩාවෙන් පිරිපුන් පුතුන් ලොවට එක් කළ මහා සිප්හලකි.

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔස්සේ ඉගැන්වීම් කටයුතු කෙරෙන මෙරට ප්‍රමුඛ පෙළේ පාසලක වන මෙය කන්ද උඩරට ප්‍රමුඛ බොදු තක්ෂිලාවක ලෙස කාගේත් ආදර ගෞරවයට පාත්‍රව තිබේ.

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන, එම පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමිවරුන් එදා විද්‍යාර්ථ ගුරු මණ්ඩලයට එක්ව එහි දරුවන්ට ධර්ම ඥානය දීම විද්‍යාර්ථ බොදු තක්සලාවේ බෞද්ධ පදනම ලොවට පෙන්වා දිය හැකි මාහැඟි අවස්ථාවන්ය.

ජාතික සහ අන්තර්ජාතික වශයෙන් ඉමහත් කීර්තියක් ගෙන දුන් මෙන්ම කීර්තිධර සිසුන් රැසක් ලොවට දායාද කළ නිසාවෙන්ම විද්‍යාර්ථීය ආදිශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ පවතින්නේ ඉහළ පිළිගැනීමකි. හැත්තෑපස් වෙනි සැමරුමට සමගාමිව විද්‍යාර්ථ ආදි ශිෂ්‍ය සංගමය 2017දී සංවිධාන කළ විද්‍යාර්ථ පා ගමන මෙතෙක් කන්ද උඩරට පාසලක් සංවිධාන කළ ඉහළම පා ගමනට ලෙසින් පිළිගැනේ. 'විශ්වයම විද්‍යාර්ථයෙන් දකිමි' තේමාවෙන් විද්‍යාර්ථ දරුවන්ට හෙට ලොව ජය ගැනීමට උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා! විද්‍යාර්ථ මාතාව සැමදා දිනේවා!

ඉන්දික පොල්කොටුව
විද්‍යාර්ථ විද්‍යාලයීය
ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු ප්‍රධාන ලේකම්

නව අදහස දක්වන්න