මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට මූලික ක්‍රියාමාර්ග ගෙන අවසන් - කථානායක | දිනමිණ

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට මූලික ක්‍රියාමාර්ග ගෙන අවසන් - කථානායක

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අදාළ මූලික ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

වත්මන් අර්බුදකාරි තත්ත්වය මත මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම තර්ජනයක් වන හෙයින් සියලු මන්ත්‍රීවරුන්ගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දීමක් කළ බව ද කථානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සිදු කළ ඉල්ලීමකට අනුව කථානායකවරයා ලෙස පොලිස්පතිවරයාගෙන් හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා‍ගෙන් මේ ඉල්ලීම කළ බව කී කථානායකවරයා මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ඔවුන් පදිංචි ස්ථානවල ආරක්ෂාව වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව ද පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේද පැවසීය.

"පසුගිය දිනවලදී ඇති වූ අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් මේ වන විට දිවයින තුළ උද්ගත වී තිබෙන තත්ත්වය යටතේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සියලු දෙනාට ආරක්ෂාව සම්බන්ධව මතුව තිබෙන තර්ජන හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම හා නිවෙස් බලා ආපසු පිටත්ව යෑම පිළිබඳ මෙන්ම අනෙකුත් කටයුතු සම්බන්ධව දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇති බවත්, විශේෂයෙන්ම සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව මෙන්ම දේපළ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කඩිනමින් යෙදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස මාගේ ප්‍රධානත්වයෙන් 2022.05.12 දින පවත්වන ලද පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ඊට සහභාගි වූ පක්ෂ නායකයන් විසින් මාගෙන් ඉල්ලා සිටින ලදි.

"ඊට අනුකූලව, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැනට දී ඇති ආරක්ෂාව වැඩි කිරීම මෙන්ම මන්ත්‍රීවරුන් පදිංචි ස්ථාන වෙත දී ඇති ආරක්ෂාව වැඩි කිරීම මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමේදී සහ නිවෙස් බලා ආපසු පිටත්ව යෑමේදී අතිරේක ආරක්ෂාවක් සැපයීම මඟින් මන්ත්‍රීවරුන්ට දැනට සපයා තිබෙන ආරක්ෂාව ශක්තිමත් කිරීමටත්, අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත අවශ්‍ය උපදෙස් දීමට නොපමාව පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට 2022 මැයි 12 වැනි දින මා විසින් ලිඛිතව දන්වන ලද බවත්, ඒ අනුව ඊට සම්බන්ධ මූලික ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවත්, මේ සභාවට දන්වනු කැමැත්තෙමි."

නව අදහස දක්වන්න