උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා නෑ | දිනමිණ

උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා නෑ

මහින්ද අලුත්ගෙදර

- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියයි

කල්පිටියේ පිහිටි උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අවධාරණය කරයි. එම දූපත විකුණා නැති බව පෙන්වා දෙන එම අධිකාරිය අවශ්‍ය සෘජු විදේශ ආයෝජන ගෙන ඒමේ උත්සාහයක් ලෙස විදේශීය ආයෝජකයකුට වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමක් අත්සන් කර තිබෙන බව ද කියා සිටියි.

මේ සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යන ලෙස වැරදි තොරතුරු විවිධ මාධ්‍ය වාර්තා තුළින් ප්‍රචාරය වී ඇති හෙයින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන බව පෙන්වා දෙයි.

2005 අංක 38 දරන සංචාරක පනතට අනුව, සැලසුම්සහගතව සහ තිරසාර ලෙස සංචාරක හෝටල් සහ නිවාඩු නිකේතන සංවර්ධනය කිරීම සහ පවත්වා‍ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩම් අනාගත ආයෝජකයන්ට බදු දීමට එම අධිකාරිය වෙත නියම කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අතීතයේදී මෙන් විදේශීය හා දේශීය ආයෝජන ආකර්ෂණය කර ගනිමින් අඛණ්ඩව එය සිදු කර තිබෙන බව ද දැනටමත් අනුමත කර ඇති ව්‍යාපෘති සඳහා බදු ගිවිසුම් අත්සන් කිරීමේදී යම් ප්‍රමාදයක් සිදු වුව හොත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත වගකියන බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියි.

කල්පිටියේ උච්චමුනෙයි දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඉඩම් අන්සතු කිරීමේ ප්‍රතිපත්තියට අනුව වසර 30කට එම දේපළ විදේශීය ආයෝජකයකුට බදු දීමට අවශ්‍ය සියලු අනුමැතීන් ගෙන තිබෙන බව ද අමෙරිකානු ඩොලර් මිලියන 417.5ක ව්‍යාපෘතියක් සඳහා 2020 අග භාගයේදී අනුමත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ අතර ආයෝජකයාගේ ඉල්ලීම හේතුවෙන් බදු ගිවිසුම අත්සන් කිරීම ප්‍රමාද වූ බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. කල්බදු ගිවිසුම අත්සන් කිරීම සඳහා ආයෝජකයාගේ නියෝජිතවරයා පසුගියදා (08) ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් පසුගියදා (11) කල්බදු ගිවිසුමට අත්සන් තැබූ බව ද එම අධිකාරිය සඳහන් කරයි.

කෙසේ වුවද මෙවැනි වැරැදි සහ අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

නව අදහස දක්වන්න