මුෂ්ෆිකුර්ගේ වාර්තාගත පිතිහරඹයෙන් බංග්ලාදේශ ඉනිම ගොඩනැඟේ | දිනමිණ

මුෂ්ෆිකුර්ගේ වාර්තාගත පිතිහරඹයෙන් බංග්ලාදේශ ඉනිම ගොඩනැඟේ

කසුන් රාජිත ලකුණු 60ට කඩුලු 4යි

බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් තරග බිමේ ලකුණු පන්දහස සම්පූර්ණ කළ පළමු පිතිකරුගේ වාර්තාවට හිමිකම් කී මුෂ්ෆිකුර් රහීම් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව චිතගොං නුවර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ සිය අටවැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් විය. ලිටන් දාස් සමඟ එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 165ක සම්බන්ධතාවක් ගොඩ නැගූ මේ ප්‍රවීණ පිතිකරු ඊයේ රැස් කළ ලකුණු 105ක් රැස් කළ අතර, බංග්ලාදේශ ඉනිම ඊයේ පස්වරු ලකුණු 465කදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 68කින් පෙරමුණ ගනිමිනි. සිව්වැනි දිනයට තරගය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් දැවී ලකුණු 39ක් ලබා සිටියේය. නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 18ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 29ක් පසුපසින් සිටී.

වර්ෂාව ඇද හැලීම හේතුවෙන් ඊයේ තරගය ආරම්භ වූයේ නියමිත වේලාවට වඩා පැය බාගයක ප්‍රමාදයකින් පසුවය. ඒ වන විට කඩුලු 3කට ලකුණු 318ක් ලබා සිටි බංග්ලාදේශ පිල දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු සංඛ්‍යාව 385 දක්වා ඉහළ දමා ගැනීමට සමත් වූයේ උදෑසන වරුවේ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ට කිසිදු කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් නොදෙමිනි. එහෙත් පස්වරු තේ පානයට පෙර බංග්ලාදේශ පිලේ තවත් කඩුලු 3ක් දවාලීමට සමත් වූ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් අනතුරුව ශ්‍රී ලංකා පිලට දරුණු හිසරදයක් බවට පත්ව සිටි මුෂ්ෆිකුර් පිටියෙන් ඉවත් කළේ ලසිත් ඇඹුල්දෙණියගේ විශිෂ්ට පන්දුවකින් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

පන්දු 282කට මුහුණු දුන් මුෂ්ෆිකුර්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4ක් පමණි. ඊයේ උදෑසන ඔහු සමඟ අනගි සම්බන්ධතාවක් ගොඩ නැගූ ලිටන් දාස් තේ පානයට පෙර ලකුණු 88කට දවාලීමට කසුන් රාජිත සමත් විය. පන්දු 189කට මුහුණ දුන් දාස් හතරේ පහර 10ක් එල්ල කළේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී පන්දුවක් ආරක්ෂිත හිස් වැස්මේ ගැටීමෙන් තරමක් වේදනාවෙන් පසු වූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පන්දු යවන්නා වූ විශ්ව ප්‍රනාන්දු වෛද්‍ය උපදෙස් මත තරගයෙන් ඉවත් වීමෙන් පසු ඔහු වෙනුවට ක්‍රීඩා කළ කසුන් රාජිත බංග්ලාදේශ පිලට වැඩිම තර්ජනයක් එල්ල කළ පන්දු යවන්නා බවට පත් විය. බංග්ලාදේශ ඉනිමෙන් කඩුලු 4ක් උදුරා ගැනීමට ඔහු සමත් වූ අතර, අසිත ප්‍රනාන්දු දවාගත් කඩුලු සංඛ්‍යාව 3කි.

අද තරගයේ අවසන් දිනයයි.


මුෂ්ෆිකූර්ගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ ශතකයක් වාර්තා කළ බංග්ලාදේශ පිලේ හිටපු නායක මුෂ්ෆිකුර් රහිම් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කිරීමට සමත් විය. ඒ සමඟම ඔහු ටෙස්ට් තරග බිමේ ලකුණු 5000 කඩඉම සම්පූර්ණ කළ පළමු බංග්ලාදේශ පිතිකරු ලෙස ඔහු වාර්තාපොතට එක් විය. ඊයේ ලකුණු 105ක් රැස් කළ මුෂ්ෆිකුර් මේ වන විට ටෙස්ට් තරග 81කදී ලකුණු 5037ක් රැස් කර ඇති අතර, ඊට ශතක 8ක් සහ අර්ධ ශතක 25ක් ඇතුළත්ය. ඔහුට පෙර මේ කඩඉමට ළඟාවීමට ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ට කදිම අවස්ථාවක් හිමිවී තිබුණ ද, ඔහු කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ ලකුණු 133කට දැවී ගියේ එම කඩඉම සම්පුර්ණ කිරීමට ලකුණු 19ක් අඩුවී තිබියදීය.

නව අදහස දක්වන්න