දළදා හිමියන්ට පිදූ කෑල්ලගම | දිනමිණ

දළදා හිමියන්ට පිදූ කෑල්ලගම

(මෙහි මුල් කොටස ඉකුත් සතියේ පළවිය)

කෑල්ලගම ශ්‍රී සුදර්ශනාරාම මහාවිහාර වංශ කතුවර කෑල්ලගම චන්දානන්ද හිමියෝ උන්වහන්සේගේ අත්දැකීම් ද මෙසේ විස්තරකොට ඇත.

“කෑල්ලගම මඩුවන්වෙල අතර, සේරුගස් හැතැප්ම (මෙකල 13 කණුව) නමින් හැඳින්වූ ස්ථානයක් විය. එය අතීත කාලයේදී ප්‍රසිද්ධ අලිමංකඩකි. මා පාසල් වියේ සිටියදී දිනක් මුල්ගුරුතුමා සමඟ රාජකාරී ලිපි ලේඛන ගෙන ඒම සඳහා කොලොන්නට පා ගමනින් යාමට සිදුවිය. දැනට මෙන් ලියුම් බෙදීමක් නොපැවති එම යුගයේ සතියකට වරක් පමණ තැපැල්හලට ගොස් ලියුම් ගෙන ආ යුතු විය. එසේ අලියෙකු පාර දෙසට පිටුපා කොළ අතු කමින් සිටිනු දැක අපට දෙවියන් සිහි විය. ගුරුතුමා මට අතින් සංඥා කොට දෙදෙනාම හැකිතාක් වේගයෙන් දුවන්නට වීමු. නොනැවතීම සැතපුමක් පමණ දුර දිවවිත් කොට ආපසු බැලුවෙමු. වාසනාවකට මෙන් අලියා අප පසුපස එළවා නැති බව දැනගෙන අපට ඇති වූයේ අපමණ සතුටකි. ඉමහත් සැනසිල්ලකි. ඌ බිහිරි අලියෙකු වන්නට ඇතැයි මුල් ගුරුතුමා කීය. දැනුදු එතැනින් යන විට මේ ත්‍රාසජනක සිදුවීම අද ඊයේ සිදුවූවක් හැටියට මගේ සිහියට නැගේ. ”

එකල වල් අලින්ගෙන් බේරිම සඳහා ගැමියන්ට තිබුණේ එකම එක උපක්‍රමයකි. එනම් අලි මන්ත්‍ර මැතිරීමටය. මන්ත්‍රය කීපවරක් මතුරා අත්පුඩි ගැසීම, ගල් වැලි මතුරා ඉදිරියට දැමීම එකී කනමන්ත්‍ර පිළිවෙත විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයාව සිටි ඒ. එෆ්. මොලමුරේ මහතාගේ කාලයෙහි පනාමුර ඇත්ගාල පැවැත්වීමේ දී එයට උනන්දුවෙන් සහාය දැක්වූ ප්‍රතාපවත් පුද්ගලයකු වශයෙන් පිළිගත් කේ. ජී. මද්දුම අප්පුහාමි (වලල්ගොඩ රාලහාමි) වල් අලින් ගැන කිසිම බියක් නොදක්වා ක්‍රියා කළ අභීත පුරුෂයෙකි. වල් අලියකු දුටු විට මතුරා ජපකර ගෙන ළඟ තබාගෙන සිටි ගල් කැටයකින් පහර දී එලවා දැමීම ඔහු විසින් දක්වන ලද වික්‍රමයකි.

ඒ පිළිබඳ මාගේ බිහිසුණු අත්දැකීමක් ද ඉදිරිපත් කිරීම උචිතයයි හඟමි.මාගේ පියාණන් කෙටීම සඳහා යන විට ළමා වියෙහි සිටි මම ද ඒ සමඟ වනයට ගියෙමි. රෑ වෙන තුරු වල් කොට, තාවකාලිකව සාදා තිබුණු පැල්කොටයේ රාත්‍රී ආහාර අනුභව කොට නිදා ගැනීමට සූදානම් වනවාත් සමඟම ඉතා ළඟපාත වනයෙහි විශාල වල් අලි රංචුවක් වනය දෙවනත් කරමින් මහා හඬින් කෑගසමින් අප සිටි දෙසට එන්ට වූහ. අධික බියෙන් වෙව්ලන්නට වූ මට පියාණන් කීවේ, “බය වෙන්ට එපා මම අලින්ට මතුරා එලවා දමන්නම්” කියාය.

එසේ කී ඔහු බිමින් වැලි දෝතක් ගෙන විනාඩි කිහිපයක් එයට මතුරා පිඹ අලි එන ඉදිරියට බඹ කිහිපයක් ඒ අවට විසුරුවා දමා කිසි කලබලයක් නොමැතිව පැල්පතට ආවේය. මහා පුදුමයකි. අලි රංචුව වෙනත් පැත්තකට යන බව කෑගසන ශබ්දයෙන්ම වැටහිණ. පැය කිහිපයකදී අලි හඬ ඉතා ඈතින් අසෙන්නට විය. පසුව මා තුළ ඇති වූයේ අලි බියටත් වඩා මන්ත්‍ර බලයෙන් අලි උවදුර දුරු කිරීමට පියාණන් දැක්වූ හැකියාව පිළිබඳ විස්මයයි. මෙය මන්ත්‍ර බලයෙන් සිදු වූවක්ද වෙනත් හේතුවකින් සිදු වූවක් ද කියා අදත් මම හරි හැටි නොදනී.

මඩුවන්වෙල මුදලින්දාරාමය අවට මෑතක් වන තුරුම පැවතියේ වනගහණයකි. සැන්දෑ කාලයට වල් අලින්ගේ පැමිණීම සුලබ දර්ශනයක් විය. විහාරාධිපතිව එකල වැඩසිටි කෑල්ලේ සාරානන්ද හිමිපාණෝ ආරාම භූමියට පැමිණ පොල්ගස් විනාශ කිරීමට සැරසෙන අලින් එලවා දමන ලද්දේ ගවයින් පලවා හරින්නාක් මෙනි. රාත්‍රී කාලයේ වත්තට අලින් පැමිණි බව දැනගත් විගසම උන්වහන්සේ නොබියව ඉදිරියට ගොස් අලි මන්ත්‍රයක් මතුරා අලින් එලවා දැමූ වාර අපමණය. කෙසේ වෙතත් බීරි අලි සහ හීලෑ අලි මන්ත්‍රවලට කීකරු නොවෙති.

අද මංමාවත් දියුණු වී ගමනාගමනය පහසු බවට පත්ව ඇත. ප්‍රවාහන කටයුතු දිනෙන් දිනම සංවර්ධනය වෙමින් පවතී. අලින් පිළිබඳ නොයෙක් තොරතුරු ඉහතින් සඳහන් කළ නමුදු වර්තමානයේ අලි පරපුර බොහෝ සෙයින් වඳවී ගොස් ඇත. අලින් ගැන විශාල ප්‍රසිද්ධියක් දැරූ අලි ගාල් පැවැත් වූ පනාමුරේ පවා මේ වන විට කලාතුරකින්වත් වල් අලියකු දැක ගත නොහැකිය. දිනෙන් දිනම වනගත පෙදෙස් එළි පෙහෙළි වී ජනාවාස බවට පත්වීම මෙයට ප්‍රධාන හේතුව වශයෙන් සැලකිය හැකිය.

අතීතයේදී අප ගම්මානයේ ජීවත් වූ අයගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනය. වසරකට වරක් ජූලි, අගෝස්තු මාසවලදී හේන් කොටා පුලුස්සා සැප්තැම්බර් මාසවලදී පමණ කුරක්කන්, තණ, මෙනේරි, අමු ආදී ධාන්‍ය බීජ ඉසිනු ලැබේ. කාලීනව වසින වැස්සෙන් ඒවා පැලවී ක්‍රමයෙන් වැඩෙන්නට පටන් ගනී. පොළොව මනාව පිළිස්සී ඇති බැවින් ධාන්‍ය වර්ග සාරවත්ව වැඩේ. පොහොර යෙදීමක් අවශ්‍ය නොවීය. මේ අතර, බඩ ඉරිඟු ධාන්‍ය වර්ග සාරවත්ව වැඩේ. පොහොර යෙදීමක් අවශ්‍ය නොවීය. මේ අතර බඩ ඉරිඟු සිටුවීම, මුං ඇට, කොල්ලු ඇට, මෑ ඇට වැපිරීම, පුහුල්, වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා, වම්බටු, මිරිස්, රතුලූනු, තක්කාලි ආදි එළවළු ඇට සිටුවීම වගා කරන ගොවියා කඩිසර ව වැඩ කරයි.ඒ සඳහා තම දූ දරුවන්ගේ සහාය ද ලබා ගනී. ඉන්පසුව දුෂ්කරතා රාශියකට මුහුණපාන ගොවියා වන සතුන්ගෙන් ගොවිතැන ආරක්‍ෂා කර ගැනීම පිණිස යුහුසුලු ව වැට බැඳීමෙහි නිරත වෙයි.

හේන් පාළු කිරීමට එන සිවුපා සතුන් එලවා ගැනීමේ පහසුව, අන්‍යෝන්‍ය අවශ්‍යතා ඉටුකර ගතහැකි වීම, විපතක්, කරදරයක් ඇති වූ විට පිළිසරණ වීම, හුදෙකලා බව, පාළුව, කාන්සිය, තනිය දුරු කරගත හැකි බව, තරගයට මෙන් පැල් කවි කීම ආදියෙන් විනෝදයක් ලබා ගැනීම, වැට බැඳීම්, ආරක්‍ෂා කිරීම් ආදි පහසුව එයින් කිහිපයක් වශයෙන් දැක්විය හැකිය.

ජුලි, අගෝස්තු ශ්‍රීෂ්ම කාලයෙන් ආරම්භ වන හේන් වගාවෙන් අස්වැන්න නෙළා ගන්නා කාලය ආරම්භ වන්නේ ඊළඟ ජනවාරි මාසයේ සිටය. පෙබරවාරි මාසය අවසාන වන විට අස්වැන්න එක්රැස්කොට නිමාවට පත්වෙයි. මාර්තු මාසය අවසන් වීමට ප්‍රථම ධාන්‍ය ආදිය වේලා අටුකොටුවල තැන්පත් කොට උද්දාමයට පත්වන ගොවි ගෙවිලියෝ ඉන්පසු තාවකාලික විවේක සුවයක් ලබා ගනිති.

අනතුරුව එළැඹෙන සිංහල අවුරුදු උත්සවයට සූදානම් වන ඔවුහු අවුරුදු උදාවේ ප්‍රථම කාර්යය හැටියට අලුත් අස්වැන්නෙන් දානය පිළියෙල කොට ගෙන විහාරස්ථානයට ගොස් බුද්ධ පූජාව පවත්වා දන් පිළිගන්වා දෙවියන්ට සහ මළගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කොට තුණුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අමතක නොකළහ.

අද මෙන් මුදල් සපයා ගැනීමේ පහසුකම් එදා නොපැවති අතර, මුදල් භාවිතය ද බොහෝ සෙයින්ම අඩු මට්ටමක පැවතිණ. මුදලේ වටිනාකම ඉතා උසස් තත්ත්වයක් ගත්තේය. සත භාගය පවා භාවිත විය. සතයක් වියදම් කිරීමෙන් අනතුරුව වුවද ගතහැකි බොහෝ දේ විය.

හේන් ගොවිතැනින් ලබා ගන්නා ප්‍රධාන අස්වැන්න වශයෙන් සලකුණු ලබන්නේ කුරක්කන්ය. එයින් තලප, පිට්ටු, රොටි ආදී ආහාර පිළියෙල කරනු ලැබේ. මෙකල කුරක්කන් පිටිවලින් විස්කෝතු, ඉඳිආප්ප වැනි කෑම වර්ගද සාදති. පුරාණයේ දී ගැමියන්ගේ ප්‍රධාන ආහාරය වූයේ තලපය. කුරක්කන් තලප සාදා ගන්නා ආකාරයත් එහි ඇති ගුණයත් දක්‍ෂිණ ලංකාවේ සුපතලව වැඩි විසූ බැදිගම ශ්‍රී රතනපාල නාහිමිපාණන් විසින් ඉතා රසවත් අගනා කවිපෙළකින් මෙසේ විස්තරකොට ඇත.

මිඩි කර ඇට ගෙන උණු දියරෙහිලා පදමට තම්බා පෙරම්න්නේ

දැඩිකර කොටවා පිටිගෙන ලිප්ගල් දෙකට දෙපයදි ඉඳගන්නේ

වැඩිපුර දියවෙන බඳුනක වත්කර පදම බලලා පිටි ලන්නේ

කඩිසර ලෙස ගොල ගැට නොගැසෙන්නට විගසට කලවම්කරපන්නේ ඔරු පදිනා ලෙස ඇද ඇද පතු ගා දියවර තුනකින් තම්බන්නේ තරුපෙනෙනා කළ දුම්වැද ඇස්වල පදම බලලා බාගන්නේ ගුරුනොවනා ලෙස ලෙලි නැති පොල් සා තරමට ගුලි කරවා ගන්නේ බරු දමනා ලෙස මාත්තු සමඟින් තද උණුසුම් පිට වලඳන්නේ.

මිරිස් ඇඹුල් ලුණු සමබර තිබ්බොටු හොද්දෙන් කුඩ මසයෙන් වේවයි සුරුස් ගගා පවතිනා සෙම්කැස් මුස හන්දි පිරුම් ඇදුමට වේවයි හරස් අතට බණ්ඩිය බෙරිමද විසිමේහය අරිසස් වේවයි සරස් කියා සුව වෙයි මේ හැම ලෙඩ තද බඩගින්නට අත් දුටුවයි.

මෙකල හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇත. වනගතව පැවැති බොහෝ ප්‍රදේශ ජනාවාස බවට පත්වීම නිසා ඉඩම් ගැනීමේ අපහසුව ඊට බලපෑ ප්‍රධාන සාධකයක් වේ. අද පවත්නා තත්ත්වය අනුව කෙසේ වෙතත් හේන් ගොවිතැනට ඉඩක් නොලැබේ. එයින් විශාල සම්පත් නාස්තියක් සිදුවන බව කිව යුතුය. වටිනා ගස් වර්ග, ඖෂධීය පැළෑටි විනාශයට පත්වන අතර සතුන්ට ජීවත් වීමට තිබෙන පරිසරය විනාශ වීම පොළොවේ ජල සම්පත් වියළී යාම, භූමිය සෝදා පාළු වී මුඩුබිම් බවට පත්වීම ආදි ආදීනව රාශියක් ඇතිවීමට තුඩුදෙන හේන් ගොවිතැන අනාගතයෙහි නොපැවැත්වෙනු නියතය.

(කෑල්ලගම චන්දානන්ද හිමියන් විසින් ලියන ලද කෑල්ලගම ශ්‍රී සුදර්ශන මහා විහාරවංශය නමැති කෘතිය ඇසුරෙන් සකස් කෙරිණි.

 සේන වී. ගමගේ

නව අදහස දක්වන්න