දුටුගැමුණු - සද්ධාතිස්ස යුද වැදුණු යුදඟනාව | දිනමිණ

දුටුගැමුණු - සද්ධාතිස්ස යුද වැදුණු යුදඟනාව

ශ්‍රී ලංකාවේ ඓතිහාසික , ආගමික හා පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව සොයා බැලීමේ දී ඌව පළාතට ද අද්විතීය ස්ථානයක් හිමි වේ. ඌව පළාතේ පිහිටි ඓතිහාසික සිද්ධස්ථාන අතුරින් යුදඟනාව රජමහා විහාරස්ථානය විශේෂිතය. එය පිහිටා ඇත්තේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.

මෙම විහාරස්ථානයට පිවිසෙන්නට නම් වැල්ලවායේ සිට බුත්තල මාර්ගයේ කි.මී 16 පමණ දුරක් පැමිණ වම් පසට ඇති මාර්ගයේ කි.මී 2 ක් පමණ යා යුතුය . කතරගම දෙසින් පැමිණෙන්නේ නම් බුත්තලට පැමිණ වැල්ලවාය පාරේ කි.මී 2 ක් පැමිණ , දකුණට හැරී යා යුතුය.

මඟ අසලම පිහිටි විශාල නාම පුවරුව නිසා විහාරස්ථානයට යන මඟ පහසුවෙන් සොයා ගත හැකිය.

යුදඟනා රජමහා විහාරස්ථානය අපට වැදගත් වන්නේ එම ස්ථානයේ දී දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරුන් අතර ඇති වූ සටන පිළිබඳව කියවෙන ඓතිහාසික පුරාවෘත්තය නිසාය . කාවන්තිස්ස රජු මිය ගිය විට දුටුගැමුණු කුමරු කොත්මලේ ප්‍රදේශයේත්, සද්ධාතිස්ස කුමරු දිගාමඩුල්ල ප්‍රදේශයේත් ජීවත් වූහ. පිය රජතුමාගේ අභාවය සැල වූ වහාම මාගම්පුරට පැමිණි සද්ධාතිස්ස කුමරු කාවන්තිස්ස රජුගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කර විහාර මහා දේවිය හා කඩොල් ඇතු රැගෙන දිගාමඩුල්ලට ගිය බව පුරාවෘත්තවල සඳහන් වේ.

පියරජුගේ අභාවයෙන් පසු යළිත් මාගම්පුරයට පැමිණි දුටුගැමුණු කුමරු අමාත්‍යවරුන් විසින් මාගම්පුර රාජ්‍යත්වයට පත් කරන ලදී. දුටුගැමුණු රජු විසින් නැවත විහාරමහා දේවියත් කඩොල් ඇතාත් තමාට ලබා දෙන ලෙස කළ ඉල්ලීම සද්ධාතිස්ස රජතුමා විසින් දෙවරක්ම ප්‍රතික්ෂේප කිරීම මෙම යුද්ධයට හේතු වී තිබේ. සද්ධාතිස්ස රජතුමා එම සටන සිදු වූ ස්ථානයේ සුවිසල් දා ගැබක් ඉදි කරනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වේ.

එම දාගැබ යුදඟනා දාගැබ ලෙස හඳුනාගත හැකිය.

යුදඟනා දාගැබ යුග දෙකකට අයත් නිර්මාණයක් බව පුරාවිද්‍යා කැණීම් මඟින් සොයා ගෙන තිබේ. දැනට ඌව පළාතේ විශාලම ස්ථූපය වන්නේ ද නටබුන්ව පවතින මෙම යුදඟනාව ස්ථූපයයි.

පොළොන්නරු යුගයේ දී මහා පැරකුම්බා රජ දවස පැරණි දාගැබ වටා තවත් දාගැබක් ඉදි කර තිබෙන බවට සාධක හමු වී තිබේ. එම දාගැබ කැණීම් කිරීමේ දී පැරණි කාසි , ලෝහමය කරඩු, වළන් කටු ආදී පුරාවස්තූන් රැසක් හමු වී තිබේ. දාගැබෙහි උස මීටර් 26 සෙන්ටිමීටර් 40 ක් පමණ වේ. චෛත්‍යයෙහි වට ප්‍රමාණය අඩි 1038යි අඟල් 06 ක් පමණ වේ. 1979,

1992,2002 යන වර්ෂවල දී මෙම චෛත්‍යය වරින් වර ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහයක් ගෙන තිබේ. තවත් විශාල කොටසක් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබේ.

මෙම දාගැබ කොටවෙහෙර සම්ප්‍රදායට අයත් වන්නක් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ වන විට එම මතය බැහැර කරන්නට සිදු වී ඇත්තේ දාගැබ , හතරැස් කොටුව සහ කොත් කැරැල්ල සහිතව තිබූ බවට මේ වන විට ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක සාධක ලැබී ඇති බැවිනි. යුදඟනා දාගැබ අසල විහාර මන්දිරය පිහිටා ඇත. එහි ඇති චිත්‍ර මූර්ති, පිළිම වහන්සේලා මහනුවර යුගයේ

අවසාන කාලයට අයත්ය . යුදඟනා දාගැබ ආසන්නයේම දුටුගැමුණු, තිස්ස කුමාරවරු පළමුව යුද වැදුනු චූලාංගනී විහාරය පිහිටා ඇත. එහි ද කුඩා දාගැබක් සහ තවත් නටබුන් රැසක් දක්නට ලැබේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පූජා කළ සන්නසට අනුව මෙම විහාරස්ථානයට අයත් මුළු භූමි ප්‍රමාණය අක්කර 1739 කි. නමුත් , මේ වන විට ඒ ප්‍රමාණය අක්කර 539 දක්වා අඩු වී තිබේ.

මෙම සිද්ධස්ථානයේ වර්තමාන විහාරාධිපති ධුරය දරනුයේ ශාස්ත්‍රවේදී පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරත්න හිමිපාණන්ය. ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයට අයත් මෙම පුද බිම සංවර්ධනය කිරීම සඳහා රජයෙන් විශාල ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබේ.

මෙලෙස යුග ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන රාජ රාජ මහාමාත්‍යාදින්ගේ ගෞරව ආදරයට පත් වූ මෙම පුදබිම නටබුන් වී පැවතුනත් එය වන්දනාමානයට කිසිදු බාධාවක් වී නොමැත. මෙවැනි පුදබිම් මඟින් කියාපාන්නේ අතීතයේ අපේ රටේ පැවති ආගමික ප්‍රබෝධයයි. සමෘද්ධිමත්භාවයයි.

නව අදහස දක්වන්න