එළවළු මිල 70%කින් ඉහළට | දිනමිණ

එළවළු මිල 70%කින් ඉහළට

මෙරට වෙළෙඳපොළේ එළවළු මිල සතියක් තුළ 70%කින් පමණ ඉහළ ගොස් ඇති බැවින් වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමය පෙන්වා දෙයි.

රසායනික පොහොර සහ කෘමිනාශක නැති වීම නිසා දිගින් දිගටම අස්වැන්න අඩු වීම එළවළු මිල ඉහළ යෑමට හේතුවක් වී තිබියදී මේ වන විට අධික වර්ෂාපතනය නිසා වගාවන් විනාශ වීම, තෙල් නැතිවීම නිසා එළවළු කොළඹට මෙන්ම නගර බද ප්‍රදේශවලට රැගෙන ඒමට නොහැකි වීම සහ මහා පරිමාණයෙන් එළවළු මිල දී ගන්නා හෝටල් විවිධ හේතු මත වසා දැමීම කෙටි කාලයක් තුළ ශීඝ්‍රයෙන් එළවළු මිල ඉහළ යෑමට මූලික වූ බව මැනිං මාර්කට් පොදු වෙළෙඳ සංගමයේ ප්‍රකාශක අජිත් ශ්‍රීලාල් මහතා ‘දිනමිණ‘ට පැවසීය.

මේ වන විට තක්කාලි කිලෝ එකක මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, බෝංචි කිලෝ එකක මිල රුපියල් 500කි. කැරට් කිලෝ එකක් රුපියල් 400ක් ද, මාළු මිරිස් කිලෝ එකක් රුපියල් 450ක් ද අර්තාපල් කිලෝ එකක් රුපියල් 300ක් ද ලීක්ස් කිලෝ එකක් රුපියල් 500ක් ද ගෝවා කිලෝ එකක් රුපියල් 300ක් ද බීට් කිලෝ එකක් රුපියල් 350ක් ද වශයෙන් දිනයේ තොග මිල සටහන් වෙයි.

මීට සමගාමීව පහත රට එළවළු මිල ද දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබේ. එළවළු මිල ඉහළ යෑම සහ තෙල් අර්බුදය නිසා එළවළු මිලදී ගැනීමට කොළඹ මැනිං වෙළෙඳපොළට පැමිණෙන තොග වෙළෙඳුන්ගේ සහ සිල්ලර පාරිභෝගිකයන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන අතර, ඉදිරි දිනවලදී එළවළු අලෙවිය තවදුරටත් පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ද මැනිං පොදු වෙළෙඳ සංගමය පෙන්වා දෙයි.

නෙරංජලා වික්‍රමසිංහ

නව අදහස දක්වන්න