ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය ජවිපෙ මත පටවන්න හදනවා - ටිල්වින් සිල්වා | දිනමිණ

ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය ජවිපෙ මත පටවන්න හදනවා - ටිල්වින් සිල්වා

උපාලි කරුණාරත්න

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 1983 වර්ෂයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කුමන්ත්‍රණය කළ ආකාරයට වත්මන් පාලනය ද පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩත්වය ජනතා විමුක්ති පෙරමුණ මත පටවා පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නියැළී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ප්‍රධාන ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

09 දා ගෝල්ෆේස් පිටියේ අරගලයේ නියුතු කණ්ඩායමට පහරදීමත් සමඟ ඇති වූ ප්‍රචණ්ඩත්වය, ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීමට දරන උත්සාහය දැඩි පිළිකුලෙන් හෙළා දකින බව ද පැවසූ ටිල්වින් සිල්වා මහතා, ඉස්සර සෙල්ලම් දැන් කළ නොහැකි බවත්, දැන් පවතිනුයේ විසි එක්වැනි සියවස බවත් ප්‍රකාශ කළේය.

ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා යැයි පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා ඉදිරි දිනකදී පොලිස්පතිවරයා මුණ ගැසෙන බව ද කී ප්‍රධාන ලේකම්වරයා, අත්අඩංගුවට ගත් අනෙකුත් කණ්ඩායම්වල දේශපාලනය කුමක්දැයි එහිදී විමසා සිටින බවද පැවසීය.

වත්මන් රජයේ කණ්ඩායම්, පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරීත්වය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණට කරන චෝදනා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මෙහිදී ප්‍රකාශ කළ ටිල්වින් සිල්වා මහතා ජනතා විමුක්ති පෙරමුණ යනු තම සාමාජිකයන් ඉතා විනයකින් හසුරුවන සංවිධානයක් යැයිද සඳහන් කළේය.

නව අදහස දක්වන්න