තව ටිකක් ඉවසමු ද? | දිනමිණ

තව ටිකක් ඉවසමු ද?

උද්ඝෝෂණ හා පෝලිම් තවම අවසන් වී නැත. එහෙත් දේශපාලන අවුල කෙමෙන් විසඳෙන බව පෙනෙන්න තිබේ. දේශපාලන අවුල යනුවෙන් අප හඳුන්වන්නේ ආණ්ඩුව සම්බන්ධයෙන් පැවති අස්ථාවර තත්ත්වයයි. රට තුළ යම් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟී ඇති බව ද එය සුබවාදි තත්ත්වයක් බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත. මීට කලින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ඉතා ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැඟීමට අපොහොසත් වුව හොත් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවය. දේශපාලන ස්ථාවරභාවයක් නැතිව ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම විහිළුවකි.

අමෙරිකාව යම් ඉඟියක් පළ කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව දැන් නියම පීල්ලට වැටී ඇති බවය. එය ද සුබවාදී ලකුණක් සේ සැලකිය හැකිය. දැන් අගමැතිවරයෙක් සිටී. කැබිනට් මණ්ඩලයක් තිබේ. ආණ්ඩුවට පැහැදිලි දැක්මක් සහිත වැඩපිළිවෙළක් ඇති බව ද දැක ගත හැකිය. ජගත් සංවිධානවල මෙන්ම මිත්‍ර රටවල ද සහයෝගය මත ආර්ථික අර්බුදයේ පළමු පියවර ජය ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. පසුව කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ආර්ථික වැඩසටහන් ඔස්සේ රටේ ඉදිරි ආර්ථිකය ශක්තිමත් කිරීම ආණ්ඩුවේ ඉලක්කය බව ද පෙනෙයි. එය පහසු කටයුත්තක් නොවන්නේ වුව අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අධිෂ්ඨානයෙන් යුතුව ඊට මුහුණ දෙන බව හැඟෙයි.

ජාතික අර්බුද විසඳීමේදී පාලකයන්ට මෙන්ම පාලිතයන්ට ද යම් වගකීම් කොටසක් ඉටු කිරීමට සිදු වෙයි. පාලිතයන් යනු රටේ සමස්ත පුරවැසියන්ය. එහෙත් අපේ පුරවැසියා සිය යුතුකම හා වගකීම ලෙස හඳුනාගෙන ඇත්තේ විරෝධතා දැක්වීම හා පෙළපාළි යෑම පමණි. ඉන් ඔබ්බට ගොස් කිසියම් කැපවීමක් කිරීමට ඔවුන් සූදානම් නැත. 1973දී ජපානයට ඉන්ධන අර්බුදයක් කඩා වැදිණි. රාජ්‍ය යන්ත්‍රණය සැලකිය යුතු මට්ටමකින් අකර්මණ්‍ය විය. මීට පිළියම් සෙවූ රාජ්‍ය සේවකයෝ පාපැදිවලින් කාර්යාලයට එන්නට පටන් ගත්හ. ජපානයේ ඉන්ධන අර්බුදය කෙටි කාලයකින් නිමාවට පත් විය. අර්බුදයකදී ජනතාව ද රට වෙනුවෙන් යම් කැපවීමකට සූදානම් විය යුතුය. එසේ නොවුණ හොත් අර්බුදයේ දිග පළල තවත් වැඩි වනු ඇත.

ජනතාවට පටි තද කරගන්න යැයි කියන අතර, දේශපාලකයන් කුමාර ජීවිත ගත කරන්නේ නම්, එතැන වරදක් තිබේ. පොඩි මිනිහා තෙල් ලීටරයක් ගැනීම සඳහා පැය ගණන් පෝලිම්වල රස්තියාදු වෙද්දී ඇමතිලා වාහන පෙරහරකින් ගමන් යත් නම්, මහජනයා කෝප වී ඒවාට පහර දීම අපේක්ෂා කළ යුත්තකි. අතීතයේ එබඳු වැරැදි දිගටම සිදු විය. දැන් ඒවා වෙනස් කිරීමට පටන්ගෙන ඇත. අමාත්‍යවරුන්ගේ අමතර පහසුකම් සියල්ල කපා හැරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එය බුද්ධිමත් තීරණයකි. ජනතාවට සුබවාදී පණිවිඩයක් ද ඉන් ලැබෙයි.

ඊයේ පාසල් වසා දැමීමට සිදු විය. ඒ ඉන්ධන හිඟය නිසාය. රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍යම කොටස හැර සෙසු සේවකයන්ට ගෙදර සිට වැඩ කිරීමට අවසරය දී ඇත. ඇතැම් කාර්යාලවල වැඩමුර ක්‍රමය ආරම්භ වී ඇත. මේවායින් යම් පාඩුවක් සිදු විය හැකි වුව අප ඊට අනුගත වී අර්බුදය විසඳීම සඳහා සහයෝගය දිය යුතුය. සියලු තීරණ ගනු ලබන්නේ අර්බුදයට විසඳුම් සෙවීමේ උපායමාර්ග හැටියටය. තෙල්, ගෑස්, ඖෂධ, විදුලිය නැතිව සාමාන්‍ය ජන ජීවිතයක් ගොඩනැඟෙන්නේ නැත. පවතින හිඟයට අනුව ඒවා ඉතිරි කර ගැනීම හා අරපරෙස්සමෙන් භාවිත කිරීම ද සිදු විය යුතුය. ඉන්ධන පෝලිමේ සිට තෙල් ලබාගෙන විනෝද චාරිකා යන අය ද සිටින බව සිහිපත් කළ යුතුය.

අගමැතිවරයා පෙන්වා දෙන ලෙස ඉන්ධන සංචිතයක් පවත්වා ගැනීම ඉතා වැදගත්ය. තෙල් නැවක් එනතුරු කට අයා බලා සිටින මේ අවස්ථාවේ එය ඉටු කිරීම දුෂ්කර වුව ඉතා ඉක්මනින් තෙල් සංචිත පවත්වා ගැනීම කළ යුතුය. තෙල් පමණක් නොව, ඖෂධ හා ආහාර සම්බන්ධයෙන් ද එබඳු සංචිත පවත්වා ගත යුතුය. මේ සියල්ලට විදේශ විනිමය තිබිය යුතුය. අපට විදේශ විනිමය ලැබෙන තුන්වන මාර්ගය සංචාරක කර්මාන්තයයි. උද්ඝෝෂණ හා පෙළපාළි නිසා සංචාරක කර්මාන්තය 40%කින් බිඳවැටී ඇති බවට වාර්තා පළ වෙයි. මෙය ඉතා නරක ආරංචියකි.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හරි අපූරු යෝජනාවක් කර තිබේ. එනම්, සියලු පක්ෂ මාස තුනක් යනතුරු පොදු එකඟතාවකින් කටයුතු කරමු යන්නය. එය කළ හැකි නම්, මේ කාලයේ හොඳම යෝජනාව එයම වනු ඇත. පාර්ලිමේන්තුව දෙස බලන විට එබඳු එකඟතාවක් ඇති වන බව පෙනෙන තෙක් මානයක නැත. අර්බුදය විසඳීම ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන බොහෝදෙනා සැබෑ ජීවිතයේදී තම පක්ෂය හා පක්ෂයේ වාසිය බදාගෙන සිටිති. එය අතහරින්නට කිසිවකු කැමැති නැත. පවතින අර්බුදය උත්සන්න වූයේ ද දේශපාලන කුළල් කාගැනීම නිසාය. මේ අර්බුදය තුළවත් අපේ පක්ෂවලට සහයෝගයෙන් ක්‍රියා කළ හැකි නම්, එය කොතරම් වාසනාවක් ද?

නව අදහස දක්වන්න