ඇල්පිටිය ප්‍රා/ සභාවේ මන්ත්‍රී සුමිත්ගේ නිවෙසට පහර දුන් අයෙක් අත් අඩංගුවට | දිනමිණ

ඇල්පිටිය ප්‍රා/ සභාවේ මන්ත්‍රී සුමිත්ගේ නිවෙසට පහර දුන් අයෙක් අත් අඩංගුවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට හා ව්‍යාපාරික ස්ථානයට කලහකාරී පිරිසක් විසින් අලාභහානි කළබවට ලද පැමිණිල්ලක් ඔස්සේ ක්‍රියාත්මකවී ආරක්ෂිත කැමරා දර්ශණ හා සාක්කි මුල්කරගෙන එක් සැකකරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉකුත් 09 වැනිදා රටපුරා පැවැති කලහකාරී තත්ත්වයත් සමග ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී කේ.ඒ.ඩී.සුමිත් මහතාගේ ඉගල කළුකන්දගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට සහ ඇල්පිටිය පිටුවල පාරේ පිහිටි ව්‍යාපාරික ස්ථානයට පහරදී අලාභහානි සිදුකර ඇති බවට ඒ මහතා ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය විසින් එක් සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සොයන බවත් ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරු අද (20) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ නිවසට අලාභහානි සිදුකර ඒ මහතාගේ නිවසේ මිදුලේ නතරකර තිබූ නිලකැබ් රථයට ගිනිතබා විනාශකිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකිවී ඇත.

ඇල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නව අදහස දක්වන්න