ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාවට ජනතාව යොමු කරන්න පුත්තලම දිස්ත්‍රික් ලේකම්ගෙන් නිලධාරින්ට උපදෙස් | දිනමිණ

ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාවට ජනතාව යොමු කරන්න පුත්තලම දිස්ත්‍රික් ලේකම්ගෙන් නිලධාරින්ට උපදෙස්

පවතින තත්ත්වය හමුවේ ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාවයට ජනතාව යොමු කිරීමට කඩිනමින් අවශ්‍ය සලසුම් සකස් කරන මෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරින්ට උපදෙස් ලබාදීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා කටයුතු කළේය.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව අවධාරණය කළේය.

දිස්ත්‍රික්කයේ සියලු ආගමික නායකයින් හා පාසැල් වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධව දැනුුවත් කිරීමට කටයුතු කරන මෙන් ද මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

මෙවර පුත්තලම දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගා කිරීමට හෙක්ටයාර් 19,100 ක් ඉලක්ක කරගෙන ඇති බවත් වර්තමානයේ පවතින කෘෂි රසායන හිඟයට පිළියමක් ලෙස යාන්ත්‍රික වල් මර්ධනය හඳුන්වාදීමට, ඩැපොන් තවාන් ක්‍රමය හඳුන්වාදීම හා විධිමත්බිම් සකස් කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කරීමට ගොවීන් දැනුුවත් කර ඇති බව ද පුත්තලම් දිස්ත්‍රික් නියොජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය මෙහිදී පැවසුවාය.

එසේම කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතය පිළිබඳ ක්‍රමවත් පුහුණු වැඩ වැඩසටහන් පැවැත්වීමට ද කටයුතු කර ඇති බව නියොජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා පෙන්වා දුන්නාය.

දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න