ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ඉක්මනින් සපයනවා - හිටපු ඇමැති වජිර අබේවර්ධන | දිනමිණ

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ඉක්මනින් සපයනවා - හිටපු ඇමැති වජිර අබේවර්ධන

ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට සැපයීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින මේ අවස්ථාවේ ජනතාව ඉතා ඉවසිලිවන්තව ක්‍රියා කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

උද්ඝෝෂණ හා විරෝධතාවලට යොමු වීමෙන් හෝ වෙනත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවල නියැළීමෙන් ජනතාව තව තවත් පීඩනයට පත් වන බව පෙන්වාදෙන වජිර අබේවර්ධන මහතා රට එවැනි තත්ත්වයකට පත් නොකර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා සියලු පාර්ශවයන් සහයෝගය දැක්විය යුතු බව සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ (19) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී ඒ මහතා මෙසේද කීය.

‘‘වර්තමානයේ රට මුහුණ පා තිබෙන අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා.

ගමැතිවරයා ප්‍රමුඛ අපි හැමගේම අරමුණ වී තිබෙන්නේ එම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම තුළින් ජනතාව පත්ව සිටින පීඩනයෙන් ඔවුන් මුදා ගැනීමයි.

අගමැතිතුමන්ගේ නව වැඩපිළිවෙළට අනුව මූලික තැන දී තිබෙන්නේ දැනට පවතින පෝලිම් අවසන් කිරීම සඳහා ඉන්ධන, ගෑස්, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමයි. එය දවසකින් දෙකකින් කළ හැක්කක් නොවේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම ධුරයේ දිවුරුම් දී වැඩ බාරගැනීමෙන් අනතුරුව අප පළපුරුද්දක් තිබෙන දේශපාලනඥයින් ලෙස කිසිඳු වරප්‍රසාදයක් ලබානොගෙන රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා ඒ මහතාට සහයෝගය ලබාදීමට ඉදිරිපත්ව සිටිනවා. අගමැතිවරයා අපට බාර දී තිබෙන වගකීම් නිසි ලෙස ඉටු කිරීම සඳහා ස්වෙච්ඡාවෙන් කටයුතු කරමින් සිටිනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ සොයා බලන ලෙස අපට වගකීම් පවරා මගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක්ද එතුමා පත් කළා. එම කමිටුව නියෝජනය කරන පාලිත රංගේ බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක මහත්වරු සහ මා සමූපකාර සේවා අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, තොග වෙළෙඳුන් සහ ක්ෂේත්‍රවලට සම්බන්ධ අනෙකුත් සංගම් හා ක්‍රියාකාරීනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අප විසින් සකස් කරන ලද වාර්තාවක් අගමැතිවරයාට ඉදිරිපත් කළා.’’

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න