ජාතික පුෂ්පය නිල් මානෙල් නොව ‘මානෙල් මල’ බව ජනතාව දැනුවත් කරන්න රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව උපදෙස් දෙයි | දිනමිණ

ජාතික පුෂ්පය නිල් මානෙල් නොව ‘මානෙල් මල’ බව ජනතාව දැනුවත් කරන්න රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව උපදෙස් දෙයි

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන්නේ නිල් මානෙල් නොව ‘මානෙල් මල’ බවට ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහා ද නිසි පරිදි ජනතාව දැනුම්වත් කිරීම් සිදු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. මේ පිළිබඳ පරිසර අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳ පාසල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුම්වත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදු වී නොමැති බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ.

මේ නිසා 2015 ජුනි මස ඇමැති මණ්ඩල තීරණයක් අනූව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුම්වත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් දීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිතා වන බවද කාරක සභාව නිරීක්ෂණය කොට තිබේ.

මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේය.

2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.

ස්වර්ණා විජේකෝන්,

නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න