මැති-ඇමැති නිවෙස් ගිනි තියන්න තොරතුරු ගත්තේ ඩ්‍රෝන කැමරාවලින් - ඇමැති දිනේෂ් | දිනමිණ

මැති-ඇමැති නිවෙස් ගිනි තියන්න තොරතුරු ගත්තේ ඩ්‍රෝන කැමරාවලින් - ඇමැති දිනේෂ්

ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සඳහා තොරතුරු ගත්තේ ඩ්‍රෝන කැමරා මඟින් බව සභා නායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

අදාළ නිවෙස්වලට ගමන් කරන මාර්ග ඇතුළු සියලු තොරතුරු ඩ්‍රෝන කැමරා යවා ගෙන තිබෙන බව පැවසූ සභා නායකවරයා මෙය ඉතා තියුණු සැලැස්මක් ඇතිව ක්‍රියාත්මක වූ කාරණයක් බව සඳහන් කළේය.

ගමේ අය නොව පිටින් පැමිණි කණ්ඩායම් මේවා කළ බවත් මේවා සොයන්නට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවත් ගුණවර්ධන මහතා කියා සිටියේය.

මේවා සොයන්නට මැදිහත් නොවුණහොත් ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තු ක්‍රමයත් අභාවයට පත් වී අරාජික රටක් නිර්මාණය වීමට හැකියාව තිබෙන බව ද ඒ මහතා කීවේය.

භූමිතෙල් ටිකකට හා ගිනිපෙට්ටියකට රටේ සංස්කෘතිය වැටී තිබේ නම් එය මනුෂ්‍යත්වය ගැන ප්‍රශ්නයක් බව පැවසූ ඇමැතිවරයා ඒ ගැන ගැඹුරින් කල්පනා කළ යුතු බව පැවසීය.

මේ ප්‍රචණ්ඩකාරි ක්‍රියා සොයා බැලීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් ඒවා සොයා බැලීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතුයි. නීතිය හදා තිබෙන්නේ පාර්ලිමේන්තුව. ඒ නිසා මේ ගැන සොයා බැලීමට පාර්ලිමේන්තුවට හැකියි. හැම මන්ත්‍රීවරයකුම නැඟූ හඬ තුළින් ඇඟවන්නේ නීතිය ක්‍රියාත්මක නොවන බව. ජී 7 සමුළුව අපට උදව් කරන්න පියවර ගෙන ඇති බව දැන ගන්න ලැබෙනවා. ඉන්දියාව අපට උදව් කරන්න පියවර ගන්නවා යැයි ද ඒ මහතා කීවේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න