කකුලෙන් ඇද්දොත් ඔක්කොම ඉවරයි | දිනමිණ

කකුලෙන් ඇද්දොත් ඔක්කොම ඉවරයි

තෙල් සැපයීම යාන්තමට පිළිවෙළක් වෙද්දි බෙදා හැරීම අවුල් වී ඇත. බෙදා හැරීම අවුල් කර ඇතැයි කීම වඩා නිවැරැදිය. පිරවුම්හල් අසල පවත්නා නොසන්සුන්තා හා ගුටිකෙළි දෙස බලන විට හැඟෙන්නේ මේ රට කිසි දිනෙක හදන්නට බැරි බවය. සමහරු පිරවුම්හල්වල සේවකයන්ට තර්ජනය කරති. තව සමහරු බවුසර් හරවා යවති. තවත් සමහරු තෙල් බවුසර්වලට ගිනි තබන්නට සූදානම් වෙති. සමාජය පසුවන්නේ එකිනෙකා මරා ගන්නා තැනෙක යැයි කිව හැකිය. පොලිසිය ඇතුළු සමස්ත ආරක්ෂක අංශ මෙහිදී අසරණය. ඔවුන්ට මේවා පාලනය කළ හැකි වුව ඊට ඉඩක් නැත. මානව හිමිකම් ඊට හරස් වී ඇත. දැන් පොලිසිය පවතින්නේ කුඩුකාරයාටත් මහත්තයා කියමින් ඔහුට ආයාචනා කළ යුතු තැනෙකය.

විරෝධතා කොපමණ පැවතිය ද ඒවා නිසා තෙල් ලැබෙන්නේ නැත. ගෑස් ලැබෙන්නේ ද නැත. ඒවායින් සිදු වන්නේ රටට ලැබීමට නියමිත ඩොලර් ටිකත් අහිමි වීම පමණි. මිනිස්සු දැන් ඕනෑම දෙයකට පාරවල් හරස් කරති. එය එක්තරා මෝස්තරයක් බවට පත් වී ඇත. පසුගිය දින දෙක තුන තුළ ප්‍රධාන මාර්ග කිහිපයක් හරස් කොට ගමනාගමනයට බාධා සිදු කළහ. මංගල උත්සවයක මනාල යුවළ නැකතට අනුව රැගෙන යෑමට පැමිණි මංගල රථය උද්ඝෝෂකයන් විසින් ආපසු හරවා යවන ලදී. සදාචාරයක්, ශික්ෂණයක්, අනුකම්පාවක් උද්ඝෝෂකයන් අතර ඇත්තේම නැත. ගිලන් රථයකට ඉන්ධන ලබා දීමට ද උද්ඝෝෂකයෝ විරුද්ධ වෙති. අපේ සමාජය ගමන් කරමින් සිටින්නේ ඉතා නරක තැනකටය. මේවා නිවැරදි කර ගැනීමට අපොහොසත් වුවහොත් රට ගොඩ නැගීම බොරුය.

අප නිරන්තරයෙන්ම පෙන්වා දෙන ලෙස අර්බුදයෙන් ගොඩ යෑම සඳහා පාලකයන් වෙතින් මෙන්ම ජනතාව වෙතින් ද යම් වැඩ කොටසක් ඉටු විය යුතුය. සාමුහික කැපවීමකින් තොරව අර්බුදය ජය ගත හැකි වෙනත් මාර්ගයක් නැත. ඕස්ට්‍රේලියාව සඳහා නව අගමැතිවරයකු පත් වී ඇති අතර ජාතිය ඇමතූ නව අගමැතිවරයා කියා සිටියේ අපි සියලු භේද අමතක කොට රට ගොඩ නගමු යන්නය. ශ්‍රී ලංකාවේ මෙන් ආර්ථික අර්බුදයක් ඕස්ට්‍රේලියාවේ නැත. එය සැලකෙන්නේ ධනවත් රාජ්‍යයක් හැටියටය. එහෙත් නව අගමැතිවරයාගේ ප්‍රවේශය ඉතා වැදගත්ය. ජාතියක් ලෙස සාමුහිකව අභියෝග ජය ගත යුතුය යන අදහස ඔහු විශ්වාස කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ද එබඳු යෝජනාවක් කර ඇත. එහෙත් සමහර පාර්ශ්ව වෙතින් ඊට සාර්ථක ප්‍රතිචාර ලැබී නැත.

අගමැතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ පළමු ප්‍රයත්නය වී ඇත්තේ රටේ පවතින මූලික ගැටලු ටික ජාත්‍යන්තර සහයෝගය මත විසඳා ගැනීමය. ඒ හැර වෙනත් විකල්පයක් අපට නැත. ආණ්ඩුවේ උත්සාහය සාර්ථක බව මේ වන විටත් සනාථ වී ඇත. මෙහි දෙවන පියවර වන්නේ ජනතාවට සහන ලබා දෙන නව අයවැයක් ඉදිරිපත් කිරීම හා රජයේ ආදායම් මාර්ග ශක්තිමත් කර ගැනීමය. ඒ දෙකම කළ හැක්කේ පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ ද සහයෝගය ඒ සඳහා ලැබුණහොත් පමණි. පක්ෂ නායකයන් කඹ අදින්නට පටන් ගතහොත් වැඩසටහන් සියල්ල අවුල් වනු ඇත. පොදු ජනතාව නීතිය අතට ගෙන ආර්ථිකය හසුරවන තැනකට ගියහොත් එයින් ද සැලසුම් අවුල් වනු ඇත. අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අතුරේ යනවා බඳු අභියෝගාත්මක ගමනක යෙදී සිටිති.

අද සිට ජූලි 01 දක්වා කාලය අ.පො.ස. සා/පෙළ දරුවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ක්‍රියා කළ යුතුව තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග දෙපාර්තමේන්තුව හා ආණ්ඩුව ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරති. එනම් විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ට හිරිහැරයකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන හැටියටය. විභාගයට මුහුණ දෙන දරුවන්ට පහසුකම් පමණක් නොව, නිදහස හා සැනසීම ද අවශ්‍ය වේ. පාරට බැස්සොත් දකින්නට ලැබෙන්නේ කලබල හා ගුටිකෙළිය. ගෙවල්වල පරිසරය පවා මේ වන විට නොසන්සුන්ය. මේවා යම් තරමකින් හෝ වෙනස් කොට නිදහස් මනසකින් විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම අප කාගේත් යුතුකම වෙයි. විභාග රාජකාරි ඉටු කරන නිලධාරින්ට ඉන්ධන ලබා දිය යුතුය. රජය ඒ සඳහා වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර ජනතාව ඊට බාධා නොකළ යුතුය.

විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ආණ්ඩුව කියා සිටී. එය ඉතා අපහසුවෙන් ගත් තීරණයක් විය හැකිය. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් එබඳු තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සතුටු විය හැකිය. ආණ්ඩුවේ ගමන නිවැරදි බව එයින් පෙනී යයි. අගමැතිවරයා තෙල් සංචිතයක් පවත්වා ගත යුතු බව පෙන්වා දී ඇත. එය ඉතා හොඳ යෝජනාවකි. මේ අවස්ථාවේ තෙල් සංචිත පවත්වා ගැනීමට බැරි බව ඇත්තකි. එහෙත් ඉදිරි කාලයේ දී අප එබඳු තැනකට යා යුතුය. ඉදිරි මාස කිහිපය තුළ දී ආහාර අර්බුදයක් ඇති විය හැකි බවට ද අනතුරු හඟවා ඇත. සත්‍යය නොවලහා හෙළිදරව් කළ යුතුය. එවිට පෙර සූදානමක් ඇති කර ගත හැකිය. පෙර සූදානමක් පැවතියේ නම්, තෙල් අර්බුදය වුව මේ තරමට උත්සන්න වන්නේ නැත.

නව චින්තනයක්, අලුත් වැඩපිළිවෙළක් හා ලොකු වෙනසක් නැතිව පවතින අර්බුදයෙන් ගොඩ යා හැකි වෙනත් මගක් නැත. පාලකයන්ගේ වංචා දූෂණ හා අක්‍රමිකතා ගැන විරෝධතා ව්‍යාපාර කරගෙන යන අයම පෙරළා වංචාවට දූෂණයට හා ප්‍රචණ්ඩත්වයට පාර කපති. උද්ඝෝෂණ අතර ඒවා හොඳ හැටි ප්‍රදර්ශනය වෙයි. මේවාට තිත තබා හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නට කොයි කවුරුත් වග බලා ගැනීම වැදගත්ය.

නව අදහස දක්වන්න