ජාතික පාපන්දු සංවර්ධන සැලැස්ම ජූලි සිට පාපන්දු සභාපති නිලධාරීන්ට දෙහි කපයි | දිනමිණ

ජාතික පාපන්දු සංවර්ධන සැලැස්ම ජූලි සිට පාපන්දු සභාපති නිලධාරීන්ට දෙහි කපයි

ක්‍රීඩා අමාත්‍යාංශයට යවන ලද ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ නාමලේඛනය අනුමැතිය දීමට කලින් සමාජ මාධ්‍ය ජාලා අතරට හා විවිධ පුද්ගලයන් අතට පත් වූයේ කෙසේද යන්න පිළිබඳ පරීක්ෂණයක් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පවසයි. එමෙන්ම අද හෝ හෙට පත් වන නව ක්‍රීඩා ඇමැතිවරයා වෙත ද මේ පැමිණිල්ල භාරදීමට කටයුතු කරන බව පාපන්දු සභාපතිවරයා පැවසීය.

“ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනකු පාපන්දු සම්මේලනයට එරෙහිව කුමන්ත්‍රණයක යෙදෙනවා. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපට සහයෝගය දෙද්දී, නිලධාරීන් කිහිප දෙනකු අපේ කකුලෙන් ඇදීම ක්‍රීඩාවට කරන අයහපතක්. අපේ සම්මේලනය රජයේ මුදලින් හෝ ජනතාවගේ බදු මුදලින් යැපෙන ආයතනයක් නොවෙයි. අපි රටට ඩොලර් ගෙනෙන සංගමයක්. ඒ නිසා අපේ සැලසුම්වලට බාධා කරන එක වැරදියි. ශ්‍රී ලංකා පිල මේ සතියේ කටාර් පුහුණු තරග කිහිපයකට යැවීමට කටයුතු කොට තිබෙනවා. තවම අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නෑ. මේ හේතුවෙන් කටාර් ගමන පමා විය හැකියි. එයින් සිදු වන්නේ ක්‍රීඩකයන්ට පාඩුවක්” ජස්වර් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ නව විදේශීය පාපන්දු පුහුණු උපදේශකයන් වන ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතා හා සහාය පුහුණු උපදේශක බ්‍රිතාන්‍ය ජාතික කීත් ස්ටීවන්ස් මහතා හඳුන්වා දෙමින් ඉකුත්දා පැවති මාධ්‍ය හමුවේදීය. ශාරීරික යෝග්‍යතා පුහුණුකරු මාකොස් පෙරෙයිරා හා පාපන්දු ලේකම් උපාලි හේවගේ යන මහත්වරු ද මේ මාධ්‍ය හමුවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටාර් පාපන්දු සම්මේලනය හා ලොව පුරා සුප්‍රසිද්ධ කටාර් ඇස්පයර් (ASPIRE) පාපන්දු ඇකඩමිය සමඟ අත්වැල් බැද ජාතික පාපන්දු කණ්ඩායමේ දක්ෂතා උසස් තලයට ගෙන ඒමට හා ශ්‍රී ලංකා පාපන්දු සංවර්ධනයට වසර 3ක ගිවිසුමක් 2022 ජූලි මාසයේ සිට ක්‍රියාවට නැංවීමට සූදානම් වෙයි. එම පාපන්දු සංවර්ධන සැලැස්ම පිළිබඳ මේ මාධ්‍ය හමුවේදී සඳහන් විය. මේ ව්‍යාපෘතිය උදෙසා මූල්‍ය අනුග්‍රහය හා තාක්ෂණික සහයෝගය ඇතුළු සියලු පහසුකම් සුප්‍රසිද්ධ කටාර් ඇස්පයර් පාපන්දු ඇකඩමිය දෙන අතර විදේශීය පාපන්දු පුහුණු උපදේශකයන් තිදෙනකු කටාර් පාපන්දු සම්මේලනය මඟින් ලබා දෙනු ඇත. ඒ අනුව දැනටමත් විදේශීය පාපන්දු පුහුණු උපදේශකයන් දෙදෙනකු ශ්‍රී ලංකාවට එවා ඇති අතර ඉදිරියේදී ගෝල් කීපර් ක්‍රීඩකයන් පුහුණු කිරීමේ විදෙස් පුහුණු උපදේශකයකු ශ්‍රී ලංකාවට එවීමට කටාර් පාපන්දු සම්මේලනය එකඟතාව පළ කොට ඇත.

මේ විදේශීය පාපන්දු පුහුණු උපදේශකයන් දෙදෙනා පසුගිය දින කිහිපය තුළ ජාතික පාපන්දු පිලේ ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා අධ්‍යයනය කරමින් සිටින අතර ඔවුන්ගේ පහසුකම් හා මෙරට පාපන්දු ක්‍රීඩාවේ තාක්ෂණික ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ලබමින් පසු වෙති. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලබන මාසයේ උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියා පාපන්දු කුසලාන තරගාවලියේ සුදුස්සන් තෝරා ගැනීමේ තරග වටයට සහභාගී වන බැවින් ඒ සඳහා ඉදිරි පියවරයන් ද සමාලෝචනය කරමින් සිටී. එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අවශ්‍ය තාක්ෂණික සහයෝගය හා දක්ෂතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් දේශීය පුහුණුකාර්ය මණ්ඩලයට මේ පුහුණු උපදේශකයන් දෙදෙනා දෙනු ඇත.

ජාතික පාපන්දු කණ්ඩායම සමඟ හා තාක්ෂණික අංශ සමඟ මෙන්ම දේශීය පුහුණුකරුවන් සමඟ පුළුල් සාකච්ඡාවකින් අනතුරුව මේ පුහුණු උපදේශකයන් දෙදෙනා දැනට පවතින අඩුපාඩු හා දක්ෂතා නිරීක්ෂණය කොට කටාර් පාපන්දු සම්මේලනයට වාර්තාවක් දීමට ද නියමිතය. ජාතික පාපන්දු සංවර්ධන සැලැස්ම යටතේ ඉදිරියෙන්ම සිටින දේශීය පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලා හා දක්ෂ ක්‍රීඩකයන් විදේශීය පාපන්දු ලීග් තරග වෙත යොමු කිරීම ද සිදු කිරීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් සකස් කර ඇත.

ප්‍රධාන පාපන්දු පුහුණු උපදේශක ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතා මේ මාධ්‍ය හමුවේදී පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු පිල ඉදිරියේදී දක්ෂ කණ්ඩායමක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව පවතින බවයි.

“ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කළ යුතුයි. ක්‍රීඩකයන්ගේ උනන්දුව වඩාත් වැදගත්. යම් කාලයක් ගතවෙද්දී කණ්ඩායම ගොඩනැඟිය හැකියි. දැනට පවතින තත්ත්වය අනුව ආක්‍රමණය කිරීමේ රටාවෙන් මිදී ආරක්ෂාකාරී ක්‍රමයට ක්‍රීඩා කළ යුතුයි. ක්‍රීඩකයන් මෙතෙක් අනුගමනය කරන ක්‍රමය වෙනස් කළ යුතුයි” මොරිසන් මහතා පැවසීය.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න