පරිගණක, රූපවාහිනී, රන් භාණ්ඩ ඉස්සූ 5ක් කරන්දෙණියෙන් අල්ලයි | දිනමිණ

පරිගණක, රූපවාහිනී, රන් භාණ්ඩ ඉස්සූ 5ක් කරන්දෙණියෙන් අල්ලයි

කරන්දෙණිය පොලිස් වසමේ ස්ථාන කිහිපයක දී පසුගිය දිනවල පාසල්, ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවලින් සොරකම්කරන ලද රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා පරිගණක, රූපවාහිනී යන්ත්‍ර, රන් භාණ්ඩ සමඟ ඒවා සොරකම් කළ බව කියන සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් පස් දෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය පොලිස් වසමේ මහගොඩ හා දීනවල ප්‍රදේශවලදී බව ද පොලිසිය කියයි. එසේම මෙම සැකකරුවන් අවුරුදු 28,22 හා 17 වයසවල පසුවෙන්නන් බව ද, මෙම එක් සැකකරුවකු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවකු බව ද ඔහු වසර 18 ක් පමණ ළමා නිවාසවල සිටි අයෙකු වන අතර ඔහු මහගොඩ මිතුරෙකුගේ නිවසක නතරවී සිටිමින් අනෙක් සැකකරුවන් හා එක්ව මෙම සොරකම් සිදුකර ඇති බවට පරීක්ෂණ වලදී හෙළිවූ බව ද, පොලිසිය පවසයි.

සොරකම් කරන ලද සමහර භාණ්ඩ නිවාසවලට විකුණා තිබියදී සොයාගත් බවත්, සොරාගන්නා ලද මුදල්දී ගෝනාපිනුවල ප්‍රදේශයෙන් මිලදී ගෙන තිබූ ත්‍රීරෝද රථයක්ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බවත් පොලිසිය පවසයි.

ඉකුත්දා මහගොඩ පාසලකට හොරෙන් ඇතුළුවී එහි පරිගණක කාමරය බිඳ එහි තිබී සොරා ගන්නා ලද පරිගණක යන්ත්‍රයක්ද, කරන්දෙණිය ඇරව්වාවිල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි අලෙවිසැලකට හොරෙන් ඇතුළුවී සොරාගන්නා ලද භාණ්ඩ හා උපකරණ ද, දීනවල ප්‍රදේශයේ නිවසකට හොරෙන් ඇතුළුවී සොරාගන්නා ලද පරිගණකයක් හා රූපවාහිණී යන්ත්‍රයක්ද, ඉකුත් නමවනදා පුද්ගලයෙකුට පහරදී කොල්ලාකන ලද පවුම් දෙකක රන්දම්වැලක්, රුපියල් 80000/= ක් වටිනා ඇපල්6 වර්ගයේ ජංගම දුරකථනයක් හා ඔහුගේ රියදුරු බලපත්‍රයද, මෙම සැකකරුවන් ළඟ තිබී සොයාගෙන තිබේ.

ඇල්පිටිය ජේ. පොලිස් අධිකාරී වයි. එල්.ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරිය මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

 

ඇල්පිටිය සමූහ - කරන්දෙණිය සමූහ හා අම්බලන්ගොඩ සමූහ

නව අදහස දක්වන්න